හෘදයාබාධයක් යනු කුමක්ද?
- 2022 දී එක්සත් ජනපදයේ පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු පමණ හෘදයාබාධවලින් මිය ගොස් ඇත. ලෝකයේ අකල් මරණ සඳහා අංක එකේ හේතුව හෘදයාබාධයයි.
- හෘදයාබාධ සඳහා ඔබට ඇති අවදානම දැන ගන්න. එවිට ඔබට ඒවා වළක්වා ගත හැකිය.
- අධි රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම සහ දුම්පානය ප්‍රධාන අවදානම් සාධක වේ.
හෘදයාබාධ
හෘදයාබාධයක් ඇතිවන්නේ හෘදයට රුධිරය සපයන ධමනි බිත්තිවල මේද තට්ටු තැන්පත් වීම නිසා රුධිර පරිවහණය අපහසු වන ලෙස ඒවා පටු වීමෙනි.
ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් සහ අනෙකුත් සංඝටක තැන්පත් වීමෙන් මෙම මේද තට්ටු සෑදී ඇත. මේද තට්ටු තැන්පත් වීම නිසා කාලයත් සමඟ ධමනි ඇතුළත පටු වන අතර එමඟින් රුධිර සංසරණය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අවහිර කළ හැකිය. මෙම ක්‍රියාවලිය ශරීරයේ ඕනෑම ධමනියක සිදුවිය හැකි අතර මෙය ධමනි සිහින් වීම (Atherosclerosis) ලෙස හැඳින්වේ.
හෘදයේ ධමනි පටු වූ විට පපුවේ වේදනාවක් ඇති කළ හැකිය, මන්ද ඒවා ඔබේ හෘත් පේශිවලට සහ ශරීරයේ අනෙකුත් අවයවවලට රුධිර සැපයුම අවහිර කළ හැකි වීමයි. රුධිර කැටියක් මගින් ධමනියක් සම්පූර්ණයෙන්ම අවහිර කළ හැකි අතර, එය සාමාන්‍යයෙන් සිදුවන්නේ යම් ස්ථානයක මේද තට්ටුව (Plaque) කැඩී යාමෙන් (Rupture) හෝ ඛාදනය වීම (Erosion) නිසා එතැන එකතුවන රුධිරය කැටි ගැසීම නිසාය (සම මතුපිට තුවාලයක් වූ ස්ථානයක රුධිරය කැටි ගැසෙන ආකාරයටම) (රූපය 1.1) .

හෘදයාබාධයක් ඇතිවීමට හේතුව කුමක්ද?
හෘදයාබාධයක (myocardial infarction) රෝග යාන්ත්රණයට රුධිර ප්‍රවාහය අඩුවීම සහ කිරීටක ධමනි සැලකිය යුතු ලෙස අවහිර වීම හේතුවෙන් හෘත් පේශි පටක මිය යාමට හේතු වන සිදුවීම් මාලාවක් ඇතුළත් වේ.
1. ධමනි සිහින් වීම (මූලික හේතුව)
මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ හෘත් පේශිවලට රුධිරය සපයන ධමනි (කිරීටක ධමනි) වල බිත්තිවල ලිපිඩ බහුල මේද තට්ටු සෑදෙන නිදන්ගත ප්‍රදාහක තත්වයක් වන ධමනි සිහින් වීමෙනි. හෘද කුටි සෑම විටම රුධිරයෙන් පිරී තිබුණද, හදවතේ අභ්‍යන්තරම පටලය දැඩි බැවින් හදවතට ඒ කිසිවක් භාවිතා කළ නොහැක. වෙනත් ඕනෑම ඉන්ද්‍රියයක් මෙන්, හෘද මාංශ පේශීන් ද ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රුධිර නාල හරහා ලබා ගත යුතුය. ඒවා කිරීටක ධමනි ලෙස හැඳින්වේ. රුධිර සැපයුම නොමැතිව හදවතට මිනිත්තු 30 කට වඩා ජීවත් විය නොහැක.
ධමනි සිහින් වීමේ ප්‍රධාන අදියර:
- එන්ඩොතීලියම් (endothelium) ලෙස හැඳින්වෙන ධමනියක අභ්යන්තරතම පටලයට තුවාල වීම. (ප්‍රධාන වශයෙන් දුම්පානය සහ අධි රුධිර පීඩනය නිසා ඇතිවේ)
- පිෂ්ටධාතුව සමුච්චය වීම (ධමනි බිත්තියේ නරක කොලෙස්ටරෝල් තැන්පත් වීම)
- ප්‍රදාහක ප්‍රතිචාරය: සමහර සුදු රුධිරාණු ධමනි අභ්යන්තරතම ස්ථරයට ඇතුළු වී මැක්රොෆේජ් (macrophages) බවට පත් වන අතර එමඟින් ලිපිඩ අවශෝෂණය වී පෙණ සෛල සාදයි. බැක්ටීරියා රුධිරයට ඇතුළු වීම නිසා ඇතිවන ආසාදනවලට එරෙහිව සටන් කිරීමට සහ ඕනෑම රුධිර වාහිනයක හානියක් ප්‍රකෘතිමත් කිරීමේදී ප්‍රදාහක ප්‍රතිචාරය ඉතා වැදගත් වේ.
- මේද තට්ටුව සෑදීම: ධමනි බිත්තියේ සුමට මාංශ පේශි සෛල ප්‍රගුණනය වන අතර ලිපිඩ හරය මත තන්තුමය තොප්පියක් සාදයි.
2. මේද තට්ටුව කැඩී යාම හෝ හානි වීම.
- හෘදයාබාධයක් සාමාන්‍යයෙන් ඇතිවන්නේ මෙලෙස නාල සිහින් කිරීමේ අවදානමක් ඇති මේද තට්ටුවක් කැඩී යාම හෝ ඛාදනය වීම නිසා එහි අන්තර්ගතය, රුධිර ප්රවාහයට නිරාවරණය වීමෙනි.
- මෙය පට්ටිකා සක්‍රිය කිරීම සහ කැටි ගැසීම (thrombus) ආරම්භ කරයි. ධමනි අභ්‍යන්තරය අවහිර කිරීමට තරම් කැටි ගැසීම විශාල විය හැකිය. රුධිර කැටි ගැසීම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සම්පන්න යාන්ත්රණයකි. එය නොමැතිව අපට කැපුමක් සිදු වූ සෑම අවස්ථාවකම (පර්යන්ත ධමනියකට) ලේ ගැලීම සිදු වේ.
කෙසේ වෙතත්, මෙම ආරක්ෂිත යාන්ත්‍රණය ප්‍රධාන රුධිර නාලයක මැද සිදුවුවහොත් එය ප්‍රති-පලදායක (අපේක්ෂිත ප්රථිඵලයට විරුද්ධ) වේ. රුධිර කැටි ගැසීමේ යාන්ත්රණයන්ට හානිය සිදුව ඇත්තේ ප්‍රධාන ධමනියක ද නැද්ද යන්න තේරුම් ගත නොහැක. රුධිර නාලයකට තුවාලයක් සිදු වූ සෑම අවස්ථාවකම, එය පට්ටිකා සක්‍රිය කිරීම සමඟ ආරම්භ වන කැටි ගැසීමේ යාන්ත්රණයන්ගේ ආධාරයෙන් රුධිර වහනය වැළැක්වීමට උත්සාහ කරයි.
3. කැටියක් සෑදීම සහ ධමනි අවහිර වීම.
- තුවාල වූ ස්ථානයේ පට්ටිකා එකතු වන අතර, රුධිරය කැටි ගැසීම සක්‍රීය වී, ෆයිබ්‍රින් බහුල කැටියක් සාදයි.
- රුධිර කැටියකට කිරීටක ධමනිය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අවහිර කළ හැකිය (රූපය 1.2).
- සම්පූර්ණ අවහිර වීම, ST උච්චතා හෘදයාබාධ (STEMI) ඇති කරයි; අර්ධ අවහිර වීම ST උච්චතා නොවන හෘදයාබාධ (NSTEMI) හෝ ක්ෂණිකව ඇති වී නැති වී යන පපුවේ කැක්කුම ඇති කරයි. ST උච්චතාව යනු ECG හි අර්ථ නිරූපණයකි. S සහ T අතර ECG කොටස සාමාන්‍ය මට්ටමට වඩා ඉහළට ගොස් ඇත්නම්, එය ST උච්චතාවක් ලෙස හැඳින්වේ. එයින් පෙන්නුම් කරන්නේ හෘත් පේශි වලට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවයි.

4. රුධිර සැපයුම නොමැතිකම හේතුවෙන් හෘත් පේශි සෛල මිය යාම.
- රුධිර ප්‍රවාහය අවහිර වීමෙන් හෘත් පේශි පටක වලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ සැපයුම වැළකී යයි.
- මෙම ආඝාත තත්ත්වය මිනිත්තු 20-30 කට වඩා වැඩි කාලයක් පැවතුනහොත්, අප්රතිවර්ත්ය (නැවත යථා තත්වයට පත්කළ නොහැකි) සෛල හානි සහ පටක මියයාම ආරම්භ වේ.
- හානි වූ කලාපය: රුධිර ප්‍රවාහය යථා තත්ත්වයට පත් නොකළහොත් බලපෑමට ලක් වූ ප්‍රදේශය පැය ගණනක් පුරා වර්ධනය විය හැක.
5. ප්‍රදාහක සහ ප්රතිසමාධාන ප්‍රතිචාරය
- මෙලෙස හානි වූ කලාපයේ ප්‍රදාහක ප්‍රතිචාරය ආරම්භ වේ: නියුට්රෝෆිල්, මැක්රොෆේජ්, සහ සයිටෝකයින් (රසායනික පණිවුඩකාරක) එක්ව හානියට ලක් වූ ප්‍රදේශය පිරිසිදු කිරීම සහ සුව කිරීම ආරම්භ කරයි.
- ඉන් අනතුරුව දින සති ගෙවෙමින් කැළැල් පටක (scar tissues) සෑදීම සිදු වන අතර, මිය ගිය හෘත් පේශි, තන්තුමය පටක (සංකෝචනය විය නොහැකි දෘඩ; ඒ නිසා, එම කොටසේ හෘදය සම්පුර්ණයෙන් ක්‍රියා නොකරනු ඇත.) මගින් ප්‍රතිස්ථාපනය වේ.
පොදු අවදානම් සාධක (ධමනි සිහින් වීම සඳහා)
- දුම්පානය
- අධි රුධිර පීඩනය
- ඉහළ LDL/ අඩු HDL කොලෙස්ටරෝල්
- දියවැඩියාව
- තරබාරුකම
- උදාසීන ජීවන රටාව
- ආතතිය
- හෘද රෝග පිළිබඳ පවුල් ඉතිහාසය
රෝග ලක්ෂණ
සමහර විට හෘද රෝග “නිහඬ මාරයෙක්” විය හැකි අතර හෘදයාබාධයක සලකුණු හෝ රෝග ලක්ෂණ අත්විඳින තෙක් රෝගය සෑදී ඇති බව නොදනී.
හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස:
- පපුවේ වේදනාව හෝ අපහසුතාව: බොහෝ හෘදයාබාධවලට පපුවේ මැද හෝ වම් පැත්තේ අපහසුතාවයක් ඇති වී මිනිත්තු කිහිපයකට වඩා පැවතීම හෝ අපහසු බව පහව ගොස් නැවත ටික වේලාවකින් ඇති වීම. මෙම අපහසුතාවය, පපුව මතට පීඩනයක් ලක් කිරීම, පපුව මිරිකීම, පපුව පිරී ඇති ලෙස හෝ වේදනාවක් ලෙස දැනිය හැකි.
- ශරීරය දුර්වල බවක්, හිසේ කැක්කුමක් හෝ ක්ලාන්තයක් දැනීම. ඒත් සමගම ඇඟ සීතල වී දහඩිය දැමීම.
- හකු, බෙල්ල හෝ කොන්දේ වේදනාව හෝ අපහසුතාව.
- එක් අතක හෝ දෙකෙහිම හෝ උරහිස්වල වේදනාව හෝ අපහසුතාව.
- හුස්ම ගැනීමේ අපහසුතාව: මෙය බොහෝ විට පපුවේ අපහසුතාවයක් සමඟ ඇති වන නමුත්, පපුවේ අපහසුතාවයට පෙර හුස්ම ගැනීමේ අපහසුතාවයක් ද ඇති විය හැක.
හෘදයාබාධයක අනෙකුත් රෝග ලක්ෂණ අතර අසාමාන්‍ය හෝ පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුව සහ ඔක්කාරය හෝ වමනය ඇතුළත් විය හැකිය. කාන්තාවන් තුළ මෙම අනෙකුත් රෝග ලක්ෂණ ඇතිවීම වැඩියෙන් සිදු වේ.
රෝග විනිශ්චය
හෘදයාබාධයක් හඳුනා ගැනීම සඳහා සාමාන්‍යයෙන් රෝගියාගේ ඉතිහාසය පරීක්ෂා කිරීම සහ විවිධ පරීක්ෂණ සිදු කරයි. හෘද පරීක්ෂණවල සම්පූර්ණ ලැයිස්තුවක් පහත දැක්වේ.
- ඊසීජී (ECG): හෘද ස්පන්දනයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය, හෘද ස්පන්දන වේගය සහ නිත්‍යභාවය මනිනු ලබයි.
- එකෝ පරීක්ෂාව (Echocardiogram): හදවතේ රූප සටහනක් නිර්මාණය කිරීම සඳහා ඉහළ සංඛ්‍යාත ශබ්ද තරංග භාවිත කරයි.
- ව්‍යායාම ආතති පරීක්ෂාව (Exercise ECG): ඔබ ට්‍රෙඩ්මිල් එකක ඇවිදින අතරතුර ඔබේ හෘද ස්පන්දන වේගය මනිනු ලබයි. වැඩිපුර රුධිරය පොම්ප කිරීමට සිදුවන විට ඔබේ හදවත කෙතරම් හොඳින් ක්‍රියා කරනවාද යන්න තීරණය කිරීමට මෙය උපකාරී වේ.
- පපුවේ එක්ස් කිරණ පරීක්ෂාව (Chest X:ray): හදවත, පෙනහළු සහ පපුවේ ඇති අනෙකුත් අවයවවල රූප සටහනක් නිර්මාණය කිරීම සඳහා එක්ස් කිරණ භාවිතා කරයි.
- හෘද කැතීටරීකරණය (Cardiac catheterisation): ඉකිලි, අත හෝ බෙල්ලේ ඇති ධමනියක් හරහා තුනී, නම්‍යශීලී නලයක් හෘදයට ඇතුළු කිරීමෙන් ඔබේ ධමනි ඇතුළත අවහිරතා තිබේදැයි පරීක්ෂා කරයි. හදවත තුළ රුධිර පීඩනය සහ හෘදයේ කුටි හරහා රුධිර ප්රවාහයේ ශක්තිය මැනීම, හෘදයෙන් රුධිර සාම්පල එකතු කිරීම හෝ හෘදයේ කිරීටක ධමනි තුළට වර්ණකයක් යැවීම කළ හැකිය.
- කිරීටක ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාව (Coronary angiogram): කිරීටක ධමනි හරහා රුධිර සංසරණය සහ අවහිර වීම නිරීක්ෂණය කරයි. හෘද කැතීටරීකරණය හරහා ඇතුළත් කරන ලද වර්ණක හඳුනා ගැනීමට එක්ස් කිරණ භාවිතා කරයි.
- කිරීටක ධමනි කැල්සියම් පරීක්ෂාව (Coronary artery calcium scan): පරිගණක ටොමොග්‍රැෆි (CT) පරීක්ෂණයක් හරහා කිරීටක ධමනි තුළ කැල්සියම් සහ මේද තට්ටු තැන්පත් වීම පරීක්ෂා කරයි.
ප්‍රතිකාර
හදිසි ප්‍රතිකාර:
- ඇස්ප්‍රින් (Aspirin): රුධිර කැටි ගැසීම හෝ කැටි විශාල වීම වළක්වන පෙති.
- ත්රොම්බොලිටික්ස් (Thrombolytics): හෘත් පේශිවල ධමනි අවහිර කරන රුධිර කැටි විසුරුවා හරින ඖෂධ (block busters).
- නයිට්‍රොග්ලිසරින් (Nitroglycerin : GTN): රුධිර වාහිනී පළල් කර හදවතට රුධිර සංසරණය වැඩි කරන දිව යටට ඉසින spray එකක්.
- ඔක්සිජන් (Oxygen): හෘත් පේශි ක්‍රියාකාරිත්වයට උපකාර කිරීම සඳහා රුධිරගත ඔක්සිජන් මට්ටම වැඩි දකරයි.
- මෝෆීන් (Morphine): GTN වලට ප්‍රතිචාර නොදක්වන දරුණු පපුවේ වේදනාව සැහැල්ලු කරන එන්නතක්.
- බීටා:බ්ලෝකර් (Beta:blockers): රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය අඩු කරමින් හදවතේ කාර්ය ලිහිල් කර හානිය පාලනය කරන පෙති.
- ACE නිෂේධක : රුධිර පීඩනය සහ හදවතේ ආතතිය අඩු කරන පෙති.
ක්‍රියාපටිපාටීන්:
- ස්ටෙන්ටිං (PCI): ඇන්ජියෝප්ලාස්ටි ලෙසද හැඳින්වෙන මෙම ක්‍රියා පටිපාටිය බැලූනයක් සහ ස්ටෙන්ට් එකක් භාවිතයෙන් අවහිර වූ කිරීටක ධමනි පුළුල් කරයි.
සැත්කම්:
- බයිපාස් සැත්කම්: අවහිර වූ ධමනි හරහා රුධිරය ගලා යාම සඳහා නව මාර්ග නිර්මාණය කරයි.
දිගු කාලීන කළමනාකරණය:
- ඖෂධ: තවදුරටත් හෘදයාබාධ වැළැක්වීම සඳහා රෝගීන්ට ඇස්ප්‍රින්, බීටා:බ්ලෝකර්, ACE නිෂේධක සහ ස්ටැටින් දිගටම ලබා ගත හැකිය.
- ජීවන රටාවේ වෙනස්කම්: සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිතිපතා ව්‍යායාම කිරීම, බර කළමනාකරණය සහ දුම්පානය නතර කිරීමෙන් අනාගතයේ හෘදයාබාධ වළක්වා ගත හැක.
හෘදයාබාධ වළක්වා ගන්නේ කෙසේද?
- දුම්පානය නතර කිරීම: දුම්පානය හෘදයාබාධ ඇතිවීමේ අවදානම බරපතල ලෙස වැඩි කරයි.
- රුධිර පීඩනය පාලනය කිරීම: අධි රුධිර පීඩනය හෘදයාබාධ සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් වන බැවින්, ඔබේ රුධිර පීඩනය නිතර පරීක්ෂා කර එය කළමනාකරණය කිරීමට ඔබේ වෛද්‍යවරයා සමඟ කටයුතු කරන්න.
- කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම පාලනය කිරීම: කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම නිරීක්ෂණය කරමින් ආහාර සහ ව්‍යායාම මගින් පාලනය කරන්න. අවශ්‍ය නම් ඖෂධ භාවිත කරන්න.
- ආතතිය කළමනාකරණය කිරීම: භාවනාව, යෝගා හෝ පරිසරය සමග කාලය ගත කිරීම වැනි ආතතිය කළමනාකරණය කිරීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රම යොදා ගන්න.
- නිතිපතා ව්‍යායාම කිරීම: සතියට පහක්වත් අවම වශයෙන් මිනිත්තු 30ක් මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් ව්‍යායාමවල නිරත වන්න.
- සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම: සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ.
- හෘද සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් අනුගමනය කිරීම: සංතෘප්ත හා ට්‍රාන්ස් මේද, සෝඩියම් සහ සැකසූ ආහාර සීමා කරන අතරම, පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ මේද අඩු ප්‍රෝටීන් බහුල සමබර ආහාර වේලක් ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම.
- නිතර පරීක්ෂාවන් සිදු කර ගැනීම: පරීක්ෂණ සඳහා ඔබේ වෛද්‍යවරයා නිතිපතා හමුවී, රෝග වළක්වා ගැනීමේ නිර්දේශ අනුගමනය කරන්න. වෛද්‍යවරයා ලවා කිරීටක ධමනි කැල්සියම් පරීක්ෂාව (CT ස්කෑන්) හෝ ව්‍යායාම ඊසීජී පරීක්ෂාව වැනි හෘද පරීක්ෂාවක් සිදු කරගත හැක.
- ඔබේ පවුලේ ඉතිහාසය දැනගන්න: ඔබේ පවුලේ හෘද රෝග ඉතිහාසය අවබෝධ කර ගැනීම, ඔබේ අවදානම් සාධක හඳුනා ගැනීමට සහ සුදුසු වැළැක්වීමේ පියවර ගැනීමට උපකාරී වේ.
- හෘදයාබාධයක රෝග ලක්ෂණ සහ අවදානම් සාධක පිළිබඳව දැනුවත් වීම.
හෘදයාබාධයක රෝග ලක්ෂණ.
- පපුවේ වේදනාව හෝ පීඩනය: මෙය වඩාත් පොදු රෝග ලක්ෂණය වන අතර, බොහෝ විට එය පපුව තලා දැමීම, මිරිකීම හෝ අධික සංවේදීතාවක් ලෙස අයෙක්ට දැනිය හැක.
- අනෙකුත් ප්‍රදේශවල වේදනාව හෝ අපහසුතාව: වේදනාව හෝ අපහසුතාව අත් (බොහෝ විට වම් අත), උරහිස, බෙල්ල, හකු හෝ පිටුපසට පැතිර යා හැක.
- දහඩිය දැමීම: ඇඟ සීතල වී දහඩිය දමන අතර මෙය පිරිමින් තුළ සුලබ රෝග ලක්ෂණයකි.
- හුස්ම ගැනීමේ අපහසුව: හුස්ම ගැනීමේ අපහසුතාව හෝ ඔබට හුස්ම ගැනීමට නොහැකි බව දැනීම.
- වේගවත් හෝ අක්‍රමවත් හෘද ස්පන්දනය: හෘදය අසාමාන්‍ය ලෙස වේගයෙන් ගැහීම හෝ වෙව්ලීම.
- අනෙකුත් රෝග ලක්ෂණ: ඔක්කාරය, වමනය, හිසරදය, කරකැවිල්ල හෝ ක්ලාන්තය දැනීම.
- ගැස්ට්‍රයිටිස් හෝ අජීර්ණය: සමහර කාන්තාවන්ට හෘදයාබාධයක් අතරතුර අජීර්ණ හෝ ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන දැවිල්ල ලෙස දැනිය හැක.
- කාංසාව හෝ භීතිය (Panic attack) : සමහර කාන්තාවන්ට හදිසි කාංසාවක් හෝ බියක් අත්විඳිය හැකි අතර එය හෘදයාබාධයක ලකුණක් විය හැක.
වැදගත්: පපුවේ වේදනාව බහුල රෝග ලක්ෂණයක් වුවද, කාන්තාවන්ට අධික තෙහෙට්ටුව, ඔක්කාරය හෝ උදර වේදනාව වැනි වෙනත් රෝග ලක්ෂණ අත්විඳීමට වැඩි ඉඩක් ඇත. ඔබ මෙම රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ.
හෘදයාබාධයක් ඇතිවිය හැකි බවට පූර්වයෙන් දැනෙන සංඥා (මාසයකට පෙර).
- පපුවේ අපහසුතාව: මෙය පපුවේ පීඩනය, තද ගතිය, මිරිකීම හෝ වේදනාව වැනි හැඟීමක් ඇති කළ හැකිය. එය අත්, බෙල්ල, හකු, පිටුපසට හෝ බඩට ද පැතිර යා හැකිය.
- තෙහෙට්ටුව: අසාමාන්‍ය ලෙස වෙහෙසට පත්වීම හෝ වෙහෙසකර බවක් දැනීම. විශේෂයෙන් විවේකයෙන් පසුව වුවද එය දිගටම පවතින්නේ නම්, එය හෘදයාබාධයක ලකුණක් විය හැකිය.
- හුස්ම ගැනීමේ අපහසුතාව: විවේකයෙන් හෝ අවම වෙහෙසකින් වුවද හුස්ම ගැනීමේ අපහසුතාව හෘදයාබාධයක් පෙන්නුම් කළ හැකිය.
- වෙනත් තැනක අපහසුතාවයක්: අත්, පිටුපස, බෙල්ල, හකු හෝ ආමාශයේ වේදනාව හෝ අපහසුතාවයක් සමහර විට හෘදයාබාධයක අනතුරු ඇඟවීමේ ලකුණක් විය හැකිය.
- සීතල දහඩිය දැමීම: ව්‍යායාම හෝ රස්නය වැනි පැහැදිලි හේතුවක් නොමැතිව හදිසියේම ඇඟ සීතල වී දහඩිය දැමීම, හෘදයාබාධයක මුල් අවධියේ රෝග ලක්ෂණයක් විය හැකිය.
වැදගත්: මේවා පොදුවේ දැකිය හැකි වන ලක්ෂණ පමණක් වන අතර, සෑම කෙනෙකුටම ඒවා සියල්ලම ඇති වන්නේ නැත. ඔබට මෙම රෝග ලක්ෂණ කිසිවක් තිබේ නම්, විශේෂයෙන් ඒවා දිගටම පවතී නම් හෝ දරුණු නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ.
පාලනය කළ හැකි අවදානම් සාධක:
- අධි රුධිර පීඩනය: පාලනය නොකළ අධි රුධිර පීඩනය ධමනි වලට හානි කළ හැකි අතර, ඒවා අවහිර වීමට වැඩි අවදානමක් ඇති කරන අතර හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි.
- අධික කොලෙස්ටරෝල් මට්ටම: ඉහළ LDL (“නරක”) කොලෙස්ටරෝල් මට්ටම ධමනි තුළ මේද තට්ටු ගොඩනැගීමට හේතු විය හැකි අතර, එලෙස ඒවා පටු වී හෘදයාබාධයක් ඇති කළ හැකිය.
- දුම්පානය: දුම්පානය රුධිර වාහිනී වලට හානි කරයි. එලෙසම රුධිර පීඩනය වැඩි කරන අතර ඔක්සිජන් මට්ටම අඩු කරයි. මේ සියල්ල හෘද රෝග සඳහා දායක වේ.
- දියවැඩියාව: දියවැඩියාව හෘද රෝග සඳහා සැලකිය යුතු අවදානම් සාධකයකි. මන්ද අධික රුධිරගත සීනි මට්ට්ම රුධිර වාහිනී වලට හානි කළ හැකි අතර හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි.
- තරබාරුකම: තරබාරුකම හෘද රෝග සඳහා අවදානම් සාධක කිහිපයකට සම්බන්ධ වන අතර ඒවාට අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ඇතුළත් වේ.
- ශාරීරික ක්‍රියාකාරකම් හිඟකම: උදාසීන ජීවන රටාවක් බර වැඩිවීම, අධි රුධිර පීඩනය සහ හෘද රෝග සඳහා වන වෙනත් අවදානම් සාධක සඳහා දායක විය හැකිය.
- දුර්වල ආහාර වේලක්: සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද බහුල ආහාර සහ පලතුරු සහ එළවළු අඩු ආහාර වේලක් හෘද රෝග අවදානම වැඩි කළ හැකිය.
- අධික මත්පැන් පරිභෝජනය: අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් රුධිර පීඩනය වැඩි විය හැකි අතර හෘද රෝග අවදානම වැඩි වේ.
- ආතතිය: දිගු කාලීන ආතතිය හෘද සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි
පාලනය කළ නොහැකි අවදානම් සාධක:
- වයස: හෘදයාබාධ ඇතිවීමේ අවදානම වයසත් සමඟ වැඩි වේ. විශේෂයෙන් අවුරුදු 45 ට වැඩි පිරිමින්ට සහ අවුරුදු 55 ට වැඩි කාන්තාවන්ට අවදානම වැඩිය.
- පවුල් ඉතිහාසය: හෘද රෝග පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම (විශේෂයෙන් පළමු පෙළ ඥාතීන්ට), ඔබේ අවදානම වැඩි කරයි.
- ස්ත්‍රී පුරුෂ භාවය: සාමාන්‍යයෙන් පිරිමින් කාන්තාවන්ට වඩා හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි නමුත්, ආර්තවහරණයෙන් පසු මෙම පරතරය අඩු වේ.
- ජනවාර්ගිකත්වය: දකුණු ආසියානු, මැද පෙරදිග, මාඕරි හෝ පැසිෆික් දූපත් සම්භවයක් ඇති අය වැනි ඇතැම් ජනවාර්ගික කණ්ඩායම්වලට හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
- සමහර වෛද්‍ය තත්වයන්: නින්දේ හුස්ම හිරවීම (sleep apnoea), වකුගඩු රෝග සහ ඇතැම් ජානමය ආබාධ වැනි තත්වයන් ද හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය.
මෙම අවදානම් සාධක තේරුම් ගැනීමෙන් සහ ඒවා කළමනාකරණය කිරීමට හෝ අඩු කිරීමට පියවර ගැනීමෙන්, පුද්ගලයන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය.
සාරාංශය
හෘදයාබාධ යනු ලොව අකල් මරණවලට ප්‍රධානතම හේතුවයි. එය සිදුවන්නේ හදවතට රුධිරය සපයන ධමනි වල බිත්තිවල මේද තට්ටු තැන්පත් වීම නිසා වන අතර එමඟින් ඒවා පටු වී අවසානයේ අවහිර වේ. කිරීටක ධමනියක මේද තට්ටුවක් කැඩී ගිය විට, එය රුධිර කැටියක් සෑදීමට හේතු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර ප්‍රවාහය හදිසියේම අවහිර වී හෘත් පේශිවලට රුධිර සැපයුමක් නැති වී ගොස් අවසානයේ ඒවා මිය යනු ඇත. කඩිනම් ප්‍රතිකාර (උදා: කැටි ගැසීම නවතන ඖෂධ, යථා තත්වයට පත් චිකිත්සා – රුධිර කැටි කැඩීම හෝ ඉවත් කිරීම සහ/හෝ ස්ටෙන්ට් එකක් ස්ථානගත කිරීම) හෘද හානි සහ මරණය අවම කිරීම සඳහා ඉතා වැදගත් වේ. සමහර අය හෘදයාබාධයකින් දිවි ගලවා නොගනී. නමුත් හෘදයාබාධයක් වැළඳී රෝහලට පැමිණෙන බොහෝ අය ඉන් දිවි ගලවා ගනී. දුම්පානය, අධි රුධිර පීඩනය, අධි රුධිර කොලෙස්ටරෝල්, තරබාරුකම, දියවැඩියාව, ආතතිය සහ ව්‍යායාම නොමැතිකම පාලනය කළ හැකි අවදානම් සාධක වේ.
කළ යුතු දේ
- හෘදයාබාධයක යාන්ත්‍රණය සහ හේතු සාධක අවබෝධ කර ගැනීම.
- ඔබට අවදානම් සාධක තිබේ නම්, ඒවා වෙනස් කරගැනීමට උත්සාහ කරන්න.
- හෘදයාබාධයක් පිළිබඳ කිසියම් සංඥාවක් ඇත්නම් හදිසි රෝහල් සේවාවන් වෙත පිවිසෙන්න.
- ඔබට අවදානම් සාධක තිබේ නම් සහ වයස අවුරුදු 45 ට වැඩි නම්, කිරීටක ධමනි කැල්සියම් පරීක්ෂාව වැනි හෘද රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයක් සඳහා යොමු වන්න.
නොකළ යුතු දේ
- දුම්පානය
- හෘදයාබාධයක රෝග ලක්ෂණ නොසලකා හැරීම.

