ළමා අපයෝජන (හිංසනය)

ළමා අපයෝජනය (හිංසනය) යනු කුමක්ද?

යම් දරුවෙකු (අවුරුදු 18 ට අඩු) කෙරෙහි වගකීම, විශ්වාසය හෝ බලය යන සාධක පදනම්ව සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති පාර්ශවයක් විසින් දරුවාගේ සෞඛ්‍යයට, යහපැවැත්මට, සංවර්ධනයට හෝ ගෞරවයට හානියක් හෝ හානියක් සිදුවීමට ඇති ඕනෑම ආකාරයේ ශාරීරික සහ/හෝ චිත්තවේගීය හිංසන, ලිංගික අපයෝජන, නොසලකා හැරීම් හෝ නොසැලකිලිමත් රැකවරණය, වාණිජමය හෝ වෙනස් ලෙසින් අපහරණය කිරීම ළමා අපයෝජනය ලෙස අර්ථ දැක්වේ.

  • වයස අවුරුදු 5 ට අඩු ළමුන් 10 දෙනෙකුගෙන් හය දෙනෙකු දෙමාපියන් සහ භාරකරුවන් අතින් නිතර ශාරීරික දඬුවම් සහ/හෝ මානසික හිංසනයන්ට ලක් වේ. (UNICEF 2024)
  • කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 7 දෙනෙකුගෙන් එක් අයෙකු ළමා වියේදී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වේ. (UNICEF 2024)
  • ළමා අපයෝජනවල බලපෑම කෙතරම් ද යත් එමගින් ජීවිත කාලය පුරාවටම නොනැසී පැවතිය හැකි ශාරීරික හා මානසික සෞඛ්‍යයේ ගැටලු ඇති කළ හැකි අතර, එය ඔහුගේ සමාජීය හා වෘත්තීමය ජිවිතයට බලපෑම් ඇති කරයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රටක ආර්ථික හා සමාජීය සංවර්ධනය මන්දගාමී කිරීමයි.
  • ළමා අපයෝජනය (හිංසනය) බොහෝ විට ප්‍රසිද්ධියේ සිදු නොවේ. එනිසා ඒවා සැඟව ඇත.
  • අපයෝජනයට ලක් වූ දරුවෙකු, වැඩිහිටියෙකු ලෙස අන් අයව අපයෝජනයට ලක් කිරීමට වැඩි ඉඩක් ඇති බැවින්, ප්‍රචණ්ඩත්වය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වේ.

විවිධ ආකාරයේ ළමා අපයෝජන සහ නොසලකා හැරීම් වලට වෙනස් වූ අනන්‍ය ලක්ෂණ ඇත. මේවා ප්‍රධාන කාණ්ඩ පහක් යටතේ වර්ග කෙරෙන අතර  ඒවායේ වෙනස හඳුනා ගැනීම වැදගත් වේ:

  • ශාරීරික අපයෝජනය
  • චිත්තවේගීය අපයෝජනය
  • නොසලකා හැරීම
  • ලිංගික අපයෝජනය
  • පවුල් ප්‍රචණ්ඩත්වයට ලක් වීම

විනිශ්චය (තත්වය හඳුනාගැනීම)

අපයෝජනයට සහ නොසලකා හැරීමට ලක් වූ දරුවෙකු තුළින් දැකිය හැකි සංඥා, ඇතැම් විට රෝග ලක්ෂණ සහ සංකූලතා පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

අපයෝජනයට ලක් වූ දරුවෙකුට වරදකාරී හැඟීමක්, ලැජ්ජාවක් හෝ ව්‍යාකූලත්වයක් දැනිය හැකිය. විශේෂයෙන් අපයෝජකයා දෙමාපියෙකු, වෙනත් ඥාතියෙකු හෝ පවුලේ මිතුරෙකු නම් අපයෝජනය ගැන කිසිවෙකුට පැවසීමට දරුවා බිය විය හැකිය. ඒ නිසා පහත සඳහන් දෑ වැනි වැදගත් සංඥා ගැන විමසිල්ලෙන් සිටීම අත්‍යවශ්‍ය වේ:

  1. මිතුරන්ගෙන් හෝ සුපුරුදු ක්‍රියාකාරකම් වලින් ඉවත් වීම.
  2. හැසිරීම් වල වෙනස්කම් – ආක්‍රමණශීලී බව, කෝපය, නුරුස්සනසුළු ස්වභාවය හෝ අධි ක්‍රියාකාරීත්වය – හෝ පාසල් කාර්ය සාධනයේ වෙනස්කම්.
  3. විෂාදය, කාංසාව හෝ අසාමාන්‍ය බිය, හෝ එකවර ආත්ම විශ්වාසය නැතිවීම.
  4. නින්ද ආශ්‍රිත ගැටලු සහ බියකරු සිහින දැකීම.
  5. අවධානය යොමු කිරීමට අපහසු වීම.
  6. නිතර පාසලට නොපැමිණීම.
  7. කැරලිකාරී හෝ කිසිවකට මායිම් නොකරන හැසිරීම.
  8. ස්වයං හානිකර ගැනීම හෝ සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම.

නිශ්චිත සංඥා සහ රෝග ලක්ෂණ අපයෝජනයේ ස්වභාවය මත රඳා පවතින අතර එය වෙනස් විය හැකිය. අනතුරු ඇඟවීමේ සංඥා යනු අනතුරු ඇඟවීමේ සංඥා පමණක් බව මතක තබා ගන්න -අනතුරු ඇඟවීමේ සංඥා දැකිය හැකි වීම, අනිවාර්යයෙන්ම දරුවෙකු අපයෝජනයට ලක්වන බවක් අදහස් නොකරයි.

ශාරීරික අපයෝජනයේ සලකුණු සහ රෝග ලක්ෂණ:

  1. තැලීම්, කැඩුණු අස්ථි (බිඳීම්) හෝ පිළිස්සුම් වැනි හේතුව පැහැදිලිව නොදක්වන ආබාධ.
  2. සඳහන් කරන හේතුවට නොගැලපෙන ආකාරයේ තුවාල හෝ ආබාධ.
  3. දරුවාගේ වයසට හා සංවර්ධන මට්ටමට පරස්පර ආකාරයේ තුවාල. උදාහරණයක් ලෙස දිවීමට හෝ පැනීමට නොහැකි කුඩා දරුවෙකුට එවැනි ක්‍රියා වලින් ලැබිය හැකි තුවාල තිබීම.

ලිංගික අපයෝජනයේ සලකුණු සහ රෝග ලක්ෂණ:

  1. දරුවාගේ වයසට නුසුදුසු ලිංගික හැසිරීම් හෝ දැනුම.
  2. ගැබ් ගැනීම හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක්.
  3. ලිංගික හෝ ගුද මාර්ගයේ වේදනාව, ලේ ගැලීම හෝ තුවාල.
  4. දරුවා ලිංගික අපයෝජනයට ලක් වූ බවට කරන ප්‍රකාශ.
  5. අනෙකුත් දරුවන් සමඟ නුසුදුසු ලිංගික හැසිරීම්.

මානසික (චිත්තවේගීය) අපයෝජනයේ සලකුණු සහ රෝග ලක්ෂණ:

  1. චිත්තවේගීය වර්ධනය ප්‍රමාද හෝ නුසුදුසු ලෙස සිදු වීම.
  2. ආත්ම විශ්වාසය හෝ ආත්ම අභිමානය නැතිවීම.
  3. සමාජයෙන් ඈත් වීම හෝ උනන්දුව සහ උද්‍යෝගය නැතිවීම.
  4. විෂාදය
  5. පාසල් යාම හෝ බස් රථයේ යාම වැනි ඇතැම් ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කිරීම.
  6. මංමුලා සහගත ලෙස සෙනෙහස සොයන බව පෙනීම. (දරුවා නොදන්නා පුද්ගලයන් වෙත පවා ආදරය සහ සැලකිල්ල සඳහා යොමු වීම.)
  7. පාසල් කාර්ය සාධනය අඩුවීම හෝ පාසල කෙරෙහි ඇති උනන්දුව නැතිවීම.
  8. කලින් ඇතිකරගත් සංවර්ධන කුසලතා නැතිවීම.

නොසලකා හැරීමේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ:

  1. වර්ධනය දුර්වල වීම.
  2. නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොකිරීම නිසා අධික බර සහ ඒ ආශ්‍රිත සංකූලතා.
  3. දුර්වල පෞද්ගලික පිරිසිදුකම.
  4. භෞතික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ඇඳුම් හෝ සනීපාර්ක්ෂක ද්‍රව්‍ය නොමැතිකම.
  5. ආහාර එකතු කිරීම හෝ සොරකම් කිරීම.
  6. පාසල් පැමිණීම අඩු වීම
  7. වෛද්‍ය, දන්ත හෝ මානසික ගැටලු සඳහා නිසි අවධානයක් යොමු කර නොතිබීම හෝ ප්‍රතිකාරවලට යොමු කිරීමෙන් පසු අවශ්‍ය පසු විපරම් සත්කාර නොමැතිකම.

දෙමාපිය හැසිරීම

සමහර විට දෙමව්පියන්ගේ හැසිරීම හෝ ආකල්ප ළමා අපයෝජනය පිළිබඳ සංඥාවක් ලබා දෙයි. එමනිසා අනතුරු ඇඟවීමේ සංඥා අතරට දෙමාපියන්ද ඇතුළත් වේ:

  1. දරුවා කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වයි.
  2. දරුවා තුළ ඇති ශාරීරික හෝ චිත්තවේගීය පීඩාව හඳුනා ගැනීමට අපොහොසත් වෙයි.
  3. ගැටලු සඳහා දරුවාට දොස් පවරයි.
  4. නිරන්තරයෙන් දරුවා පහත් කොට සලකයි හෝ බැණ වදියි. තවද නිෂේධාත්මක යෙදුම් වලින් දරුවා ආමන්ත්‍රණය කරයි. (උදා: කාලකන්නි, කමකට නැති)
  5. දරුවා දෙමාපියන්ට අවධානය සහ සැලකිල්ල ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතරම අනෙකුත් පවුලේ සාමාජිකයන්, දරුවාගෙන් අවධානය ලබා ගැනීම ගැන ඊර්ෂ්‍යා කරන බව පෙනේ
  6. දැඩි කායික විනයක් දරුවන්ගෙන් අපේක්ෂා කරයි.
  7. ප්‍රායෝගික නොවන මට්ටමේ කායික හෝ අධ්‍යයන කාර්ය සාධනයක් බලාපොරොත්තු වෙයි.
  8. දරුවාට අන් අය සමඟ සම්බන්ධතා දැඩි ලෙස සීමා කරයි.
  9. දරුවාගේ තුවාල/ ආබාධ සඳහා පරස්පර විරෝධී සහ පදනම් විරහිත හේතු පැහැදිලි කිරීම් හෝ කිසිදු පැහැදිලි කිරීමක් ලබා නොදීම.
  10. වෛද්‍යවරයාට නිරීක්ෂණය නොවූ ගැටලු සඳහා දරුවා නැවත නැවතත් X කිරණ සහ රසායනාගාර පරීක්ෂණ වැනි වෛද්‍ය ඇගයීම් සඳහා ගෙන ඒම.

කායික දඬුවම්

ළමා සෞඛ්‍ය විශේෂඥයින් ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය අදාළ කර ගැනීම හෙළා දකින නමුත්, සමහර අය තවමත් තම දරුවන් හික්මවීම සඳහා පහර දීම වැනි ශාරීරික දඬුවම් භාවිතා කරයි. දෙමාපියන් සහ භාරකරුවන් බොහෝ විට තම දරුවන්ට උපකාර කිරීමේ හෝ ඔවුන්ගේ හැසිරීම වඩා හොඳ කිරීමේ අරමුණින් ශාරීරික දඬුවම් භාවිත කළද, පර්යේෂණවලින් පෙනී යන්නේ පහර දීම වඩා හොඳ හැසිරීමක් නොව නරක හැසිරීමක් සඳහා ළමයින් යොමු කරන බවයි. එය මානසික සෞඛ්‍ය ගැටලු, දෙමාපියන් සමඟ සබඳතා දුරස් වීමට, ආත්ම අභිමානය හීන කිරීමට සහ අඩු අධ්‍යයන කාර්ය සාධනයක් ඇති කිරීමට ද හේතු වේ.

ළමා අපයෝජනය සහ නොසලකා හැරීම වළක්වා ගන්නේ කෙසේද?

ළමා හිංසනය ආරම්භ වීමට ප්‍රථමයෙන්ම වැළැක්වීම කළ හැකිය. ක්‍රමවත් වැළැක්වීමේ ප්‍රවේශයන් අතරට දෙමාපියන්ට සහාය වීම, ධනාත්මක දෙමාපිය කුසලතා ඉගැන්වීම සහ ප්‍රචණ්ඩ දඬුවම් තහනම් කිරීම සඳහා නීති වැඩි දියුණු කිරීම ඇතුළත් වේ. ළමා අපයෝජන වැළැක්වීම ඉතා වැදගත් වන්නේ එය දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ආරක්ෂා කරන අතරම, ඔවුන්ගේ මනා සංවර්ධනය සහතික කර ඔවුන්ගේ අනාගත යහපැවැත්ම ආරක්ෂා කරන බැවිනි. තවද, අපයෝජනට ලක්වූවන් නිසා පුද්ගලයන්ට සහ ආර්ථිකයට බලපෑ හැකි දිගු කාලීන ඍණාත්මක ප්‍රතිවිපාක වැළකී යාමෙන්, පුළුල් සමාජීය ප්‍රතිලාභ රැසක් හිමිකර දෙයි.

පොදු උපාය මාර්ග:

  1. දෙමාපියන් සඳහා සහාය: දෙමාපියන්ට කුසලතා සහ ගැටලුවලට ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයන් වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා දෙමාපිය වැඩසටහන්, සහායක කණ්ඩායම් සහ මානසික සෞඛ්‍ය සේවා වැනි සම්පත් වෙත ප්‍රවේශය ලබා දීම.
  2. ධනාත්මක මාපිය ශෛලිය පිළිබඳ අධ්‍යාපනය: ළමා සංවර්ධනය, ධනාත්මක හික්මවීමේ ක්‍රම සහ තම දරුවන් සඳහා ආරක්ෂිත හා යහපත් පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන්ට අවබෝධය ලබා දීම.
  3. ප්‍රජා සහභාගීත්වය: ළමා අපයෝජන සහ නොසලකා හැරීම් පිළිබඳව අවධානයෙන් සිටීමට සහ අවශ්‍යතා ඇති පවුල්වලට සහාය වීමට සමාජය දිරිමත් කිරීම.
  4. සමාජීය සාධකවලට විසඳුම් ලබා දීම: දරිද්‍රතාවය තුරන් කිරීමට, අධ්‍යාපනය සහ රැකියා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහ ළමා අපයෝජනයට දායක විය හැකි මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ ගෘහස්ථ හිංසනය වැනි ගැටලු විසඳීමට කටයුතු කිරීම.
  5. යහපත් සබඳතා ප්‍රවර්ධනය කිරීම: දෙමාපියන් සහ දරුවන් අතර මෙන්ම පවුලේ සාමාජිකයන් අතර ශක්තිමත්, ධනාත්මක සබඳතා වර්ධනයට සහාය වීම.
  6. නීතිමය රාමුව ශක්තිමත් කිරීම: දරුවන් ආරක්ෂා කිරීම සහ අපයෝජකයින් වගවීම සඳහා නීති ක්‍රියාත්මක බව සහතික කිරීම.
  7. මූලික මැදිහත්වීම්: අපයෝජනයට හෝ නොසලකා හැරීමට ලක්වීමේ අවදානමක් ඇති දරුවන් මුල් අවධියේදී හඳුනාගෙන තවදුරටත් හානි වැළැක්වීම සඳහා සහාය ලබා දීම.

දෙමාපියන්ට ගත හැකි නිශ්චිත ක්‍රියාමාර්ග:

  1. තමන්ගේම මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීම: තම දෙමාපියකරණ ශෛලියට බලපාන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි හෝ මානසික සෞඛ්‍ය ගැටලු සඳහා උපකාර ලබා ගන්න.
  2. ආරක්ෂිත සහ සහයෝගී පරිසරයක් ගෙදර නිර්මාණය කිරීම: දරුවන්ට තම නිවස ප්‍රචණ්ඩත්වයෙන් හා නොසලකා හැරීමෙන් තොර බවට වග බලා ගන්න.
  3. දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීම: ළමා සංවර්ධනය සහ විවිධ වයස් කාණ්ඩවල දී දරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලන ආකාරය ගැන දැනුවත් වීම.
  4. අපේක්ෂාවන් සහ ප්‍රතිඵල පැහැදිලි ලෙස දැක්වීම: දරුවන්ට ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ ඔවුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක තේරුම් ගැනීමට උපකාර කරන්න.
  5. යහපත් හික්මවීමේ ක්‍රම අනුගමනය: කායික දඬුවම් වලින් වළකින්න. ඒ වෙනුවට යහපත් නිවැරදි හැසිරීම් සතුටින් අගය කිරීම සහ දරුවාට නිවැරදි දේ කිරීමට මෘදු ලෙස මඟ පෙන්වන්න.
  6. විවේක ගැනීමට සහ සහාය පැතීමට නොපැකිළි වීම: ඔබට උදව් අවශ්‍ය වූ විට ඒ සඳහා ඉල්ලා සිටීමට මැලි නොවන්න. තමන් ක්ෂීණ වී ගොස් ඇතැයි දැනෙන විට මොහොතක් විරාමය ගෙන අවශ්‍ය විවේකය සහ ශක්තිය නැවත ලබා ගන්න.

අපයෝජනය සහ නොසලකා හැරීම නිසා ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව දැනුවත් වීම වැදගත්ය.

කායික ගැටලු:

  1. අකල් මරණ.
  2. ශාරීරික ආබාධ.
  3. ඉගෙනීමේ දුර්වලතා.
  4. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය.
  5. හෘද රෝග, දියවැඩියාව, නිදන්ගත පෙනහළු රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු.

හැසිරීමේ ගැටලු:

  1. නීති විරෝධී හෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම්.
  2. අන් අයව අපයෝජනය කිරීම.
  3. හුදකලාව ජීවත් වීම.
  4. සියදිවි නසාගැනීමේ උත්සාහයන් හෝ ස්වයං හානි කර ගැනීම.
  5. අධි අවදානම් ලිංගික හැසිරීම් හෝ යොවුන් වියේ ගැබ් ගැනීම.
  6. පාසලේ ගැටලු හෝ පාසල අධ්‍යාපනය අවසන් නොකිරීම.
  7. අන්තර පුද්ගල සබඳතා දුර්වල වීම.
  8. රැකියාවේ ගැටලු හෝ රැකියාවක නිරත වීමේ නොහැකියාව.

චිත්තවේගීය ගැටලු:

  1. හීන වූ ආත්ම අභිමානය.
  2. සබඳතා ඇති කර ගැනීමේ හෝ පවත්වාගෙන යාමේ අපහසුතා.
  3. හෘදයාංගම බව සහ විශ්වාසය පිළිබඳ සෑම විටම සැකසහිත වීම.
  4. දෙමාපියභාවය පිළිබඳ ඍණාත්මක දැක්ම.
  5. ආතතිය හා කලකිරීම් සමඟ කළමණාකරණය කරගැනීමට නොහැකි වීම.
  6. ප්‍රචණ්ඩත්වය සබඳතාවල සාමාන්‍ය කොටසක් බව පිළිගැනීම

මානසික සෞඛ්‍ය ගැටලු:

  1. ආහාර ගැනීමේ අක්‍රමිකතා
  2. පෞරුෂ ගැටලු
  3. හැසිරීමේ ගැටලු
  4. විෂාදය
  5. කාංසා තත්ත්ව
  6. පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD)
  7. නිදාගැනීමේ ගැටලු (නින්ද නොයාම) සහ බියකරු සිහින දැකීම
  8. සමාජ සබඳතා පැවැත්වීමේ ගැටලු

ළමා අපයෝජනය සහ නොසලකා හැරීම සඳහා අවදානම් සාධක

ළමා හිංසනය සඳහා අවදානම් සාධක කිහිපයක් හඳුනාගෙන ඇත. යම් සමාජීය හා සංස්කෘතික සන්දර්භයක් තුළ මෙම සියලුම අවදානම් සාධක නොපවතින අතර, ළමා හිංසනයට හේතු තේරුම් ගැනීමට උත්සාහ කිරීමේදී මෙම ලැයිස්තුව දළ විශ්ලේෂණයක් සපයයි.

දරුවා

ළමයින් වින්දිතයින් බවත්, ඔවුන්ට කිසි විටෙකත් හිංසනයට ලක් වීම පිළිබඳව දොස් පැවරිය යුතු නැති බවත් අවධාරණය කිරීම වැදගත්ය. යම් දරුවෙකු හිංසනයට ලක්වීමේ සම්භාවිතාව වැඩි කළ හැකි ලක්ෂණ අතරට:

  • වයස අවුරුදු 4 ට අඩු හෝ නව යොවුන් වියේ පසුවන්නෙකු වීම.
  • අවශ්‍ය නොවන බව දැනීම (රැකවරණදාරීන් ආදරය නැති, පිළිගැනීමක් නැති, හෝ අගයක් නැති ලෙස හැසිරීම) හෝ දෙමාපියන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වීම.
  • විශේෂ අවශ්‍යතා තිබීම, නොනවත්වා හැඬීම හෝ අසාමාන්‍ය ශාරීරික ලක්ෂණ තිබීම.
  • බුද්ධිමය ආබාධයක් හෝ ස්නායු ආබාධයක් තිබීම.
  • සමලිංගික, ද්විලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස හඳුනා ගැනීම.

දෙමාපිය හෝ භාරකරුවන්

දෙමාපිය හෝ භාරකරුවන්ගේ ස්වභාවය නිසා ළමා හිංසනයට ගොදුරු වීමේ අවදානම වැඩි කළ හැකි සාධක අතරට:

  • දෙමාපිය මානසික සෞඛ්‍යය: විෂාදය, කාංසාව සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වූ ආබාධ ඇතුළු මානසික සෞඛ්‍ය තත්වයන්, දෙමාපියෙකු ලෙස ශක්නුවත්භාවය අඩපණ කළ හැකි අතර අපයෝජනය හෝ නොසලකා හැරීමේ අවදානම වැඩි කරයි.
  • මත්ද්‍රව්‍ය අනිසි භාවිතය: මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තීරණවල එළඹීමේ දුර්වලතාව, ආක්‍රමණශීලී බව සහ නොසලකා හැරීමට හේතු විය හැකි අතර, එමඟින් දරුවන්ට ඇති අවදානම වැඩි වේ.
  • අපයෝජන හෝ නොසලකා හැරීමේ ඉතිහාසයක් සහිත වීම: දරුවෙකු ලෙස අපයෝජන හෝ නොසලකා හැරීම අත්විඳීම, ඔවුන් දෙමාපියන් ලෙස එම හානිකර හැසිරීම් නැවත නැවත කිරීමේ සම්භාවිතාව වැඩි කළ හැකිය.
  • දෙමාපිය කුසලතා සහ අවබෝධය නොමැතිකම: ළමා සංවර්ධනය සහ සුදුසු දෙමාපිය ශිල්පීය ක්‍රම පිළිබඳ සීමිත දැනුම, නොසලකා හැරීමට හෝ අනාරක්ෂිත පුරුදු වලට දායක විය හැකිය.
  • සමාජ ආර්ථික අභියෝග: දරිද්‍රතාවය, විරැකියාව සහ මූල්‍ය ආතතිය පවුල් මත පීඩනයක් ඇති කළ හැකි අතර නොසලකා හැරීමේ හෝ අපයෝජනයට ලක්වීමේ සම්භාවිතාව වැඩි කරයි.
  • තරුණ හෝ තනි මාපියන්: ප්‍රමාණවත් රැකවරණයක් ලබා දීමේදී තරුණ හෝ තනි මාපියන්ට අනන්‍ය අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි අතර නොසලකා හැරීමට වඩාත් ගොදුරු විය හැකිය.
  • ළමා සංවර්ධනය පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම හෝ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් තිබීම.
  • හීන පෞරුෂ සහිත වීම.
  • දුර්වල ආවේග පාලනයකින් පෙළීම.
  • අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම.

පවුල් සාධක:

  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය: නිවස තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පැවතීම ළමා අපයෝජනය පිළිබඳ ප්‍රබල පුරෝකථනයකි. බොහෝ විට ළමයින් සාක්ෂිකරුවන් හෝ වින්දිතයින් ලෙස සම්බන්ධ වේ.
  • අපයෝජන හෝ නොසලකා හැරීමේ ඉතිහාසයක් සහිත පවුලක් වීම: මෙවැනි පවුලක් තුළ පරම්පරා ගණනාවක් පුරා මෙය විෂම චක්‍රයක් ලෙස පැවතිය හැක.
  • සමාජ සහයෝගය නොමැතිකම: සීමිත සමාජ සම්බන්ධතා සහ ප්‍රමාණවත් නොවන ආධාරක යාන්ත්‍රණ පවුල් හුදකලා කිරීමට සහ අවදානම් සාධක උග්‍ර කිරීමට හේතු විය හැක.
  • පවුල් ගැටුම්: පවුල තුළ ගැටුම් ඉහළ මට්ටමක පැවතීම දරුවන්ට ආතති සහගත පරිසරයක් නිර්මාණය කළ හැකි අතර අපයෝජනයට හෝ නොසලකා හැරීමට ඇති ඉඩකඩ වැඩි කරයි.

සාමාජිය සාධක:

  • දරිද්‍රතාවය සහ අසමානතාවය: සමාජ ආර්ථික අසමානතාවයන්, සම්පත් සහ සහයෝගය බෙදීයාමට බාධක නිර්මාණය කළ හැකි අතර, හිංසනයට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි.
  • සේවා සඳහා ප්‍රවේශය නොමැතිකම: සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සේවා සඳහා සීමිත ප්‍රවේශයක් පැවතීම පවුල් සඳහා අවදානම් සාධක උග්‍ර කළ හැකිය.
  • ප්‍රජා ප්‍රචණ්ඩත්වය: ප්‍රජා ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීමෙන් දරුවන් කම්පනයට පත් කළ හැකි අතර හැසිරීමේ ගැටලු වලට දායක විය හැකි අතර, අපයෝජනය හෝ නොසලකා හැරීමේ සම්භාවිතාව වැඩි කරයි.

සාරාංශය

ළමා අපයෝජනය (අපහරණය) බොහෝ විට සැඟවී ඇත. සෑම ළමුන් 10 දෙනෙකුගෙන් හය දෙනෙකු අපයෝජනයට ලක් වේ. ප්‍රධාන කාණ්ඩ වන්නේ ශාරීරික, චිත්තවේගීය හා ලිංගික අපයෝජන, නොසලකා හැරීම සහ පවුල් හිංසනයට නිරාවරණය වීමයි. ළමා අපයෝජනය වැළැක්වීම සඳහා, ශක්තිමත් දෙමාපිය-ළමා සබඳතා ගොඩනැගීම, ධනාත්මක දෙමාපිය කුසලතා ප්‍රවර්ධනය කිරීම, පවුල් සඳහා සහයෝගය ලබා දීම සහ ළමා රැකවරණය සහ සෞඛ්‍ය සේවා වැනි සම්පත් වෙත දැරිය හැකි මුදලකට ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. ප්‍රජා මට්ටමේ ක්‍රියාමාර්ග තුළින් ළමා යහපැවැත්මේ වැදගත්කම අවධාරණය කළ යුතු අතර අපයෝජනය සහ නොසලකා හැරීමට දායක වන පද්ධතිමය සහ ආයතනික ගැටලු විසඳිය යුතුය.

කළ යුතු දේ

  • ළමා අපයෝජනයේ බරපතලකම තේරුම් ගැනීම.
  • ළමා අපයෝජනයක් හඳුනා ගන්නේ කෙසේදැයි දැන ගැනීම.
  • ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රම ඉගෙන ගැනීම.
  • දරුවන් ඇති දැඩි කිරීම අභියෝගාත්මක විය හැකි බව අවබෝධ කරගැනීම – අවශ්‍ය විටෙක සහය ලබා ගැනීමට කඩිනම් වීම.
  • යහපත් දෙමාපිය කුසලතා පුරුදු පුහුණු වීම.
  • ඔබේ දරුවා ඔබේ නිවසින් පිටත සිටින විට ඔවුන් අධීක්ෂණය කරන්නේ කවුරුන්දැයි දැන ගැනීම.
  • දරුවන් මාර්ගගතව හෝ ඩිජිටල් උපාංගවල සිටින විට ආරක්ෂිතව සිටින්නේ කෙසේදැයි ඔවුන්ට ඉගැන්වීම.

නොකළ යුතු දේ

  • ළමා අපයෝජන වාර්තා කිරීමට පසුබට වීම.

මූලාශ්‍ර: WHO, MC, CDC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *