ගැබ්ගෙල පිළිකා

ගැබ්ගෙල පිළිකාවක් යනු කුමක්ද?

ගැබ්ගෙල පිළිකා යනු ගැබ්ගෙලෙහි සෛල පාලනයෙන් තොරව වර්ධනය වන රෝගයකි. ගැබ්ගෙල මගින් ප්‍රසව මාර්ගය (උපත් ඇළ) සහ ගර්භාෂයේ ඉහළ කොටස සම්බන්ධ කරයි (රූපය 2.1).

ගර්භාෂය යනු ගර්භණී සමයේ දී දරුවෙකු වැඩෙන ස්ථානයයි. ගැබ්ගෙල ඇති ඕනෑම කාන්තාවකට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම ඇත. එම අවදානම වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන් තුළ වැඩිපුර දක්නට ලැබේ. ඇතැම් වර්ගවල මානව පැපිලෝමා වයිරස (HPV) නිසා හටගන්නා දිගුකාලීන ආසාදනයන් ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන හේතුවයි.

සාමාන්‍යයෙන් HPV යනු ලිංගික සංසර්ගයකදී එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන පොදු වෛරසයකි. ලිංගිකව ක්‍රියාකාරී පුද්ගලයින්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී HPV රෝගයෙන් පෙළෙන නමුත් ඉන් ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වන්නේ ස්වල්ප දෙනෙකි.

රූපය 2.1: කාන්තා ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය

ගැබ්ගෙල පිළිකාවේ යාන්ත්‍රණය (ව්‍යාධි කායික විද්‍යාව)

අධි අවදානම් සහිත මානව පැපිලෝමා වයිරස (HPV) වර්ගයක් දීර්ඝ කාලයක් තිස්සේ ආසාදනය වී තිබීම මගින් සාමාන්‍ය ගැබ්ගෙල එපිටිලියල් සෛල ක්‍රමයෙන් විකෘති සෛල බවට පරිවර්තනය වීමෙන් ගැබ්ගෙල පිළිකාවක් ඇතිවේ.

පිළිකා වලින් 15% ක් විවිධ වෛරස නිසා ඇතිවන අතර මානව පැපිලෝමා වයිරසය ඉන් එකකි. මානව පැපිලෝමා වයිරස වර්ග 100 කට වඩා තිබේ. නමුත් ඒවායින් විශේෂ 15 ක් පමණක් මිනිසුන් තුළ පිළිකා ඇති කළ හැකි අතර ඒවා අධි අවදානම් සහිත මානව පැපිලෝමා වයිරස (කෙටියෙන් HPV) ලෙස හැඳින්වේ. ගැබ්ගෙල යනු මෙලෙස HPV ආසාදනයට ගොදුරු විය හැකි අවයවයකි.

HPV ගැබ්ගෙල සමෙහි (එපිටිලියම්) තුවාල, සීරීම් හෝ විවර ඇති කරමින් එහි පහළ සෛල ස්ථරයට (බාසල්) ආසාදනය වේ (රූපය 2.2). බොහෝ විට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමා විසින් ම වසර 1-2 ක් තුළ HPV ආසාදනය ඉවත් කරයි. නමුත් කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ මෙම HPV ආසාදනය එලෙස ඉබේම ඉවත් නොවේ. එය අඛණ්ඩ HPV ආසාදන තත්වයක් ලෙස හැඳින්වේ. අඛණ්ඩ ආසාදනවලදී, HPV ජාන (DNA), ධාරක (සමේ) ජාන තුළට ඇතුළු විය හැකිය.

මෙලෙස ඇතුළු වන ප්‍රධාන වෛරස ජාන දෙකක් ප්‍රමුඛ වෙමින් ගැබ්ගෙල සෛලවල ආරක්ෂකයන් අඩපණ කරමින් පූර්ව පිළිකා සෛල ඇති කළ හැකි අහිතකර ප්‍රෝටීන අධික ලෙස වර්ධනයට කටයුතු කරයි. මෙහිදී ජාන විකෘති වෙමින් පාලනයකින් තොරව සෛල ප්‍රගුණනය වෙමින් පූර්ව පිළිකා තත්වයක් ඇති කරයි. පූර්ව පිළිකාවට ප්‍රතිකාර නොකළහොත්, එය වසර 10 ක් පමණ ගතවන විට පිළිකාවක් බවට පත්වේ. නිරෝගී ගැබ්ගෙල පටක සහ පිළිකා සෛල බේස්මන්ට් පටලය ලෙස හඳුන්වන තද පටලයකින් වෙන් වී ඇති බැවින් පූර්ව පිළිකාව අනෙකුත් අවයව වලට පැතිරීමක් සිදු නොවේ(රූපය 2.2).

නමුත් පිළිකා සෛල බේස්මන්ට් පටලය හරහා වර්ධනය වීමට සමත් වූ විට, එය පිළිකාවක් ලෙස හඳුන්වනු ලබන අතර එය වේගයෙන් වර්ධනය වී යෝනි මාර්ගය, ගර්භාෂය, මුත්‍රාශය හෝ ගුද මාර්ගය වැනි අසල ඇති අවයවලට ද පසුව රුධිර හරහා පෙනහළු, අක්මාව හෝ අස්ථි වැනි දුරස්ථ අවයව වලට පැතිර යා හැකිය.

රූපය 2.2: පූර්ව ගැබ්ගෙල පිළිකාවක සහ පිළිකාවක අන්වීක්ෂීය පැතිකඩ

රෝග ලක්ෂණ

මුල් අවධියේ දී, ඇතැම් විට ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ දැකගත නොහැකිය (රූපය 2.3). නමුත් කල්යත්ම ගැබ්ගෙල පිළිකාව නිසා ලිංගිකව එක්වීමෙන් පසු අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් හෝ ශ්‍රාවයක් පිටවීම සිදු විය හැක.

මෙම රෝග ලක්ෂණ කිසිවක් ඔබට ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඒවා පිළිකාවක් නොවන රෝගී තත්ත්වයක් නිසා ඇතිවිය හැකි නමුත්, එය දැන ගැනීමට ඇති එකම ක්‍රමය ඔබේ වෛද්‍යවරයා හමුවීමයි.

රූපය 2.3: නීරෝගී ගැබ්ගෙල, පූර්ව පිළිකා සහ පිළිකා අවධිවල පියවි ඇසට පෙනෙන අයුරු

රෝගය හඳුනා ගැනීම

සාමාන්‍යයෙන් ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමට පෙර ගැබ්ගෙල පරීක්ෂණයක් සිදු කරනු ලැබයි. ගැබ්ගෙල පරීක්ෂාවේ ප්‍රධාන අරමුණ වන්නේ, අඛණ්ඩ, අධි අවදානම් සහිත HPV ආසාදනයක් හෝ එහි ප්‍රතිඵලය වන පූර්ව පිළිකාවක් ඇති කාන්තාවන් හඳුනා ගැනීමයි. මෙම පරීක්ෂණය මගින් ගැබ්ගෙල ආසාදනයක් අනාවරණය නොවන්නේ ඉතාමත් කලාතුරකිනි. අනාවරණය කරගැනීමෙන් පසුව, පූර්ව පිළිකාවට සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය.

ඉහත පරීක්ෂණයෙන් අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන කාන්තාවන්ට කොල්පොස්කොපි (colposcopy) ලෙස හඳුන්වන ගැබ්ගෙල පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. ඒත් සමගම පූර්ව පිළිකා තත්වයක් හෝ පිළිකාවක් ඇති බව තහවුරු කරගැනීම සඳහා ගර්භාෂයේ ජෛව පරීක්‍ෂණයක් සිදු කළ හැකිය. ජෛව පරීක්‍ෂණයක් මගින් තහවුරු කළ පසු, පිළිකාවේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා රුධිර පරීක්ෂණ සහ ස්කෑන් (CT/ MRI/ PET) වැනි අතිරේක පරීක්ෂණ භාවිතා කළ හැකිය.

ප්‍රතිකාර

ගැබ්ගෙල පිළිකාවක් මුල් අවධියේදී හඳුනාගත් විට, එයට නිසි ප්‍රතිකාර කර ජීවිතය බේරා ගනිමින් නැවත යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර ගත හැක.

ගැබ්ගෙල පිළිකාවට ප්‍රතිකාර කිරීම ආකාර කිහිපයකින් සිදු කෙරේ. එය ගැබ්ගෙල පිළිකා වර්ගය සහ එය කොතරම් දුරට පැතිරී ඇත්ද යන්න මත රඳා පවතී.

පහත සඳහන් ප්‍රතිකාර ක්‍රම ඇතුළත් විය හැකිය:

  • සැත්කම්: වෛද්‍යවරුන් විසින් පිළිකාව කපා ඉවත් කරන සැත්කමක්.
  • රසායනික චිකිත්සාව: පිළිකාව විනාශ කිරීමට හෝ පැතිරීම අඩු කිරීමට විශේෂ ඖෂධ භාවිතය. ඖෂධ, පෙති හෝ එන්නත් හරහා හෝ ඇතැම් විට දෙයාකාරයටම ලබා දිය හැක.
  • විකිරණ චිකිත්සාව: පිළිකාව විනාශ කිරීම සඳහා අධි ශක්ති කිරණ (X-Ray වලට සමාන) භාවිත කිරීම.
  • ප්‍රතිශක්තිකරණ චිකිත්සාව: ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර පිළිකා සෛල සමඟ සටන් කිරීමට හෝ වෙනත් පිළිකා ප්‍රතිකාර වලින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරයි
  • ඉලක්කගත චිකිත්සාව: පිළිකා සෛල වර්ධනය හා පැතිරීම අවහිර කිරීම සඳහා ඖෂධ භාවිතය. ඖෂධ, පෙති හෝ එන්නත් හරහා ලබා දිය හැක. ප්‍රතිකාර ලබා දීමට ප්‍රථම ඔබේ පිළිකා වර්ගයට මෙම ප්‍රතිකාරය සුදුසු දැයි පරීක්ෂා කරනු ලබයි.

අවදානම් සාධක

සාමාන්‍යයෙන් HPV යනු ලිංගික සංසර්ගයකදී එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන පොදු වෛරසයකි. HPV වර්ග රාශියක් ඇති අතර සමහර HPV වර්ග ඔබේ ගැබ්ගෙලෙහි වෙනස්කම් ඇති කළ හැකි අතර ඒවා කාලයත් සමඟ ගැබ්ගෙල පිළිකා දක්වා වර්ධනය විය හැකි අතර, අනෙක් වර්ග ලිංගික හෝ සමේ ඉන්නන් ඇති කළ හැකිය.

HPV වයිරසය කොතරම් සුලභද යත් බොහෝ දෙනෙකුට එය ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී වැළඳී තිබිය හැක. HPV සාමාන්‍යයෙන් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකරයි, එබැවින් ඔබට එය ඇති බව ඔබට පැවසිය නොහැක. බොහෝ දෙනෙකුට, HPV ස්වභාවයෙන්ම පහව යනු ඇත. එසේ නොවුවහොත්, කාලයත් සමඟ එය ගැබ්ගෙල පිළිකා ඇති කළ හැකිය.

ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කළ හැකි වෙනත් සාධක:

  • වෛරස සමඟ සටන් කිරීමට නොහැකි වන ලෙස ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලු තිබීම.
  • දුම්පානය

ගැබ්ගෙල පිළිකා වළක්වා ගන්නේ කෙසේද?

පහත සඳහන් කර ඇති වළක්වා ගැනීමේ පියවර අනුගමනය කිරීමෙන් කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය.

  1. HPV එන්නත ලබා ගැනීම:

    ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා HPV එන්නත ඉතා සාර්ථක වේ. ගැහැණු සහ පිරිමි ළමයින් යන දෙපිරිසටම, ලිංගිකව ක්‍රියාකාරී වීමට පෙර එය නිර්දේශ කෙරේ.
    • ඕස්ට්‍රේලියාවේ ඇති ගාර්ඩසිල් 9 එන්නත, ගැබ්ගෙල පිළිකා වලින් 90% ක් පමණ ඇති කරන HPV වර්ග නවයකට එරෙහිව ආරක්ෂාව සපයයි.
    • අනෙකුත් එන්නත් මගින් ගැබ්ගෙල පිළිකා වලින් 70% ක් පමණ ඇති කරන වඩාත් සුලභ HPV වර්ග දෙකෙන් ආරක්ෂාව සපයයි වේ.
  2. ගැබ්ගෙල පරීක්ෂා කිරීමේ පරීක්ෂණ:

    ගැබ්ගෙලෙහි පිළිකා ඇතිවීමට හේතු විය හැකි අසාමාන්‍යතා හඳුනා ගැනීම සඳහා ගැබ්ගෙල පරීක්ෂණ ඉතා වැදගත් වේ. පූර්ව පිළිකා තත්ත්වයකට හෝ ගැබ්ගෙල පිළිකා බවට පත්විය හැකි වෙනස්කම් හඳුනා ගැනීමට පිළිවෙලින් පරීක්ෂණ දෙකක් උපකාරී වේ (රූපය 2.4).
රූපය 2.4: CST පරීක්ෂණය (HPV පරීක්ෂාව) කරගත හැකි ආකාර
  • CST පරීක්ෂණය මගින් HPV තිබේද යන්න පරීක්ෂා කරයි. අනතුරුව, මෙලෙස හඳුනාගත් HPV මගින් සෛල ව්‍යුහයේ වෙනස්කම් ඇති වී ද යන්න පැප් පරීක්ෂණයකින් සොයා බලයි. එබැවින්, HPV පරීක්ෂණය (ඉතා නිවැරදි PCR පරීක්ෂණයකි) ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා බෙහෙවින් ඵලදායී වේ, මන්ද එයට රෝගයේ මූල හේතුව හඳුනාගත හැකි වීමයි. මෙම සාම්පල සායනික පරීක්ෂකයෙකු විසින් හෝ කාන්තාව විසින්ම ලබා ගත හැක.

මෙම පරීක්ෂණ සෑම වසර පහකට වරක්, ගැබ්ගෙලක් ඇති සහ ලිංගිකව ක්‍රියාකාරී වූ වයස අවුරුදු 25 ත් 74 ත් අතර අය සඳහා නිර්දේශ කරයි.

  • පැප් පරීක්ෂණය (පැප් ස්මියර්) මගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල වෙනස්කම් සොයා බලනු ලබන අතර, ඒවාට නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් ගැබ්ගෙල පිළිකාවක් බවට පත්විය හැකිය. මෙම සාම්පල වෛද්‍යවරයෙකු විසින් එකතු කර පරීක්ෂා කළ යුතුය.

3. ආරක්ෂිත ලිංගික හැසිරීම:

  • ලිංගික සහකරුවන් සංඛ්‍යාව සීමා කිරීමෙන් HPV සඳහා නිරාවරණය වීමේ අවදානම අඩු කළ හැකිය.
  • ලිංගික සංසර්ගයේ දී කොන්ඩම් භාවිතා කිරීමෙන් HPV ආසාදනය සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන අවදානම අඩු කළ හැකිය.

4. දුම්පානයෙන් වැළකීම:

දුම්පානය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරයි. දුම්පානය නතර කිරීම, ගැබ්ගෙල පිළිකා අවදානම අඩු කිරීමේ මූලික පියවරකි.

5. අනෙකුත් ජීවන රටාවේ හැඩගස්වා ගැනීම්:

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සමස්ත සෞඛ්‍යයට දායක විය හැකි අතර ගැබ්ගෙල පිළිකා ඇතුළු විවිධ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය (සමහර විට එය ඔබේ ශරීරයට ස්වයංවම HPV වලට එරෙහිව සටන් කිරීම පහසු කරයි).

සාරාංශය

ඇතැම් වර්ගවල මානව පැපිලෝමා වයිරසය (HPV) නිසා ඇතිවන දිගු කාලීන ආසාදන ගැබ්ගෙල පිළිකා සඳහා ප්‍රධාන හේතුවයි. ගැබ්ගෙල පිළිකා ඇති වන්නේ HPV වයිරසය ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව අක්‍රීය කළ විටය. මෙය වසර ගණනාවක් පුරා සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට ඉඩ සලසයි. නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් අවසානයේ පිළිකාවක් බවට පත්වේ. පැප් පරීක්ෂණ සහ HPV පරීක්ෂණ හරහා කල්තියා හඳුනා ගැනීම, මෙන්ම HPV එන්නත් කිරීම මෙය වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඕස්ට්‍රේලියාව, 2035 වන විට ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමට සැලසුම් කරන්නේ ඉහත සාර්ථක පියවර 03 දැඩි ලෙස පිළිපැදීමෙනි. ගැබ්ගෙල ඇති ඕනෑම පුද්ගලයෙකුට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානමක් ඇත. HPV නොමැති කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා ඇති නොවේ. කාන්තාවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට HPV නොපවතී. නමුත් මෙය දැන ගැනීමට ඇති එකම ක්‍රමය HPV පරීක්ෂාවයි . ගැබ්ගෙල පරීක්ෂාව ඉතා වැදගත් වන්නේ එබැවිනි.

කළ යුතු දේ

  • වයස අවුරුදු 11-12 පමණ වන තරුණ ගැහැණු ළමයින්ට (සහ පිරිමි ළමයින්ට) HPV එන්නත ලබා දීම.
  • නිතර ගැබ්ගෙල පරීක්ෂාව (CST) සිදුකර ගැනීම.
  • ආරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමු වීම.

නොකළ යුතු දේ

  • දුම් පානය නොකරන්න.
  • ගැබ්ගෙල පරීක්ෂාවේ වැදගත්කම නොසලකා හරින්න එපා.
  • අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ රුධිර වහනයන් නොසලකා හරින්න එපා.

මානව පැපිලෝමා වයිරසය (HPV) පිළිකා වර්ග 6 කට දායක වේ:

  • ගැබ්ගෙල පිළිකා – 99%
  • ගුද පිළිකා – 90%
  • යෝනි පිළිකා – 78%
  • යෝනි මාර්ගයේ පිළිකා – 25%
  • ශිෂ්ණ පිළිකා – 50%
  • ඕරොෆරින්ජියල් පිළිකා – 60%

HPV පිළිකා වළක්වා ගන්නේ කෙසේද?

පිළිකාව ශරීරයේ වර්ධනය වී ඇති ස්ථානය අනුව රෝග ලක්ෂණ, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. කෙසේ වෙතත්, ඉහත පිළිකා වර්ග 6ම වළක්වා ගැනීමේ මූලධර්ම ගැබ්ගෙල පිළිකාවට සමාන වේ. එකම වෙනස වන්නේ ගැබ්ගෙල පිළිකා සඳහා සම්මත පරීක්ෂණ වැඩසටහනක් තිබීමයි.

මූලාශ්‍රය: (CDC, CC, CCAU, NHS)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *