අන්ධභාවය

අන්ධභාවය යනු කුමක්ද?

අන්ධභාවය යන්නෙන් අදහස් කරන්නේ පෙනීම නොමැති වීමේ සිට හැඩයන් (මනුෂ්‍යයකුගේ ආකෘතියක්, ගෝලාකාරයක් වැනි අවම දර්ශනයක් තිබීම – නමුත් එය නිවැරදිව හඳුනාගත නොහැක.) පමණක් දැකීම දක්වා විහිදෙන, නොපෙනීමයි. එක්සත් රාජධානියේ මිලියන 2 කට වැඩි පිරිසක් පෙනීම නැතිවීම සමඟ ජීවත් වෙති. සමහර ආකාරයේ අන්ධභාවයන් වළක්වා ගත හැකි හෝ ප්‍රතිකාර කළ හැකි වුවද, බොහෝ ඒවා ස්ථිර වේ. දැනට, සියලු ආකාරයේ අන්ධභාවයන් සඳහා විශ්වීය ප්‍රතිකාරයක් නොමැත. කෙසේ වෙතත්, ප්‍රතිකාර සහ මැදිහත්වීම් මගින් ඉතිරිව ඇති දර්ශනය ආරක්ෂා කිරීමට, සමහර අවස්ථාවල පෙනීම වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, පර්යේෂණ මඟින් පෙනීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව්‍ය ක්‍රම ගවේෂණය කිරීම දිගටම කරගෙන යයි.

අන්ධභාවයේ වර්ග දෙකක් ඇත:

  • නීතිමය අන්ධභාවය: කණ්නාඩි හෝ සීමිත දෘෂ්ටි ක්ෂේත්‍රයක් සමඟ වුවද වඩා හොඳ ඇසෙහි 20/200 හෝ ඊට අඩු දෘශ්‍ය තීව්‍රතාවක් වැනි නිශ්චිත දැක්විය හැකි දැඩි මට්ටමේ පෙනීම නැතිවීම.
  • දෘශ්‍යාබාධිතභාවය: විවිධ දෛනික කටයුතුවලට බලපෑ හැකි පුළුල් පරාසයක පෙනීම නැති වීම.

අන්ධභාවයට හේතුව කුමක්ද?

අන්ධභාවය යනු රෝගයක් නොව රෝග ලක්ෂණයක් වන බැවින් අන්ධභාවයේ රෝග යාන්ත්‍රණය යම්කිසි මූල හේතුවක් මත පදනම්ව රඳා පවතී. එය දෘශ්‍ය පද්ධතියේ ඕනෑම කොටසකට හානි වීම හෝ අක්‍රිය වීම නිසා ඇතිවේ – ඇස්, දෘෂ්ටි ස්නායු හෝ දෘශ්‍ය බාහිකය (රූපය 7.1, රූපය 7.2).

රූපය 7.1: ඇසේ කොටස්
රූපය 7.2:  දෘශ්‍ය පද්ධතියේ කොටස්

1. අන්ධභාවයට තුඩු දෙන ඇසේ රෝග

    a. ඇසේ සුද

    • රෝග යාන්ත්‍රණය:
      • ප්‍රෝටීන් සමුච්චය වීම සහ ඔක්සිකාරක ආතතිය හේතුවෙන් කාචයේ වලාකුළු ඇතිවීම. බොහෝ විට වයසට යාම, දියවැඩියාව හෝ පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම හා සම්බන්ධ වේ.
      • දෘෂ්ටි විතානය මත ආලෝකය නිසි ලෙස නාභිගත වීම වළක්වයි.
    • ප්‍රතිඵලය: වේදනා රහිත, ක්‍රමයෙන් පෙනීම නැතිවීම.

    b. ග්ලූකෝමා

    • රෝග යාන්ත්‍රණය:
      • ඇස තුළ පීඩනය වැඩිවීම දෘෂ්ටි ස්නායුවට හානි කරයි.
      • ඇසට පෝෂණය ලබාදීම සඳහා නිපදවන තරලය (Aqueous humor), නිපදවන ප්‍රමාණය සහ එය ඇසෙන් පිටවන ප්‍රමාණය අතර අසමතුලිතතාවයක් ඇති වේ. එහිදී මෙම තරලය ඇසෙන් පිටවන ප්‍රමාණය අඩු වූ විට ඇස තුළ ඇති රුධිර නාළ සහ ස්නායු තෙරපුමට ලක්වීමෙන් ඒවා හානියට පත් වේ.
      • පර්යන්ත දර්ශනය නැති වී, පසුව මධ්‍යම දර්ශනය නැති වීමට හේතු වේ.
    • ප්‍රතිඵලය: ප්‍රතිකාර නොකළහොත් ආපසු හැරවිය නොහැකි පෙනීම නැතිවීම.

    c. වයස යාමත් සමග ඇතිවන දෘෂ්ටි විතානයේ දුර්වලතා (AMD)

    • රෝග යාන්ත්‍රණය:
      • තියුණු පෙනීම සඳහා වගකිව යුතු දෘෂ්ටි විතානයේ (Retina) මධ්‍යම කොටස වන කහ ලපයේ (Macula) ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය අඛණ්ඩව, ක්‍රමයෙන් පිරිහීම.
      • වියළි AMD තත්වයකදී, ඩෲසන් (drusen) සමුච්චය වීම සහ දෘෂ්ටි විතානයේ වර්ණක ක්ෂය වීම සිදුවේ.  
      • තෙත් AMD තත්වයකදී, අසාමාන්‍ය ලෙස රුධිර වාහිනී වර්ධනය වී දෘෂ්ටි විතානයට යටින් කාන්දු වේ.
    • ප්‍රතිඵලය: මූලික පෙනීම නැතිවීම.

    d. දෘෂ්ටි විතානයේ දියවැඩියා රෝගය

    • රෝග යාන්ත්‍රණය:
      • රුධිරගත ග්ලූකෝස් මට්ටම නිරන්තරයෙන් ඉහළ යාම දෘෂ්ටි විතානයේ රුධිර නාල වලට හානි කරයි.
      • කුඩා රුධිර නාල වලට හානි වීම, ඇසට ලේ ගැලීම, දෘෂ්ටි විතානයට රුධිර සැපයුම අඩුවීම සහ අසාමාන්‍ය රුධිර නාල සෑදීමට හේතු වේ.
      • දෘෂ්ටි විතානයේ වෙන්වීම හෝ කහ ලපයේ ඉදිමීම සිදු විය හැක.
    • ප්‍රතිඵලය: ක්‍රමයෙන් දෘශ්‍යාබාධිතභාවය හෝ අන්ධභාවය.

    e. දෘෂ්ටි විතානය වෙන් වීම

    • රෝග යාන්ත්‍රණය:
      • දෘෂ්ටි විතානය යටින් පවතින පටක වලින් වෙන් වීම.
      • කම්පනය, දරුණු අවිදුර දෘෂ්ටිකත්ව තත්වයක් හෝ ඇසේ දියවැඩියාව නිසා ඇති විය හැක.
    • ප්‍රතිඵලය: හදිසියේ දෘශ්‍ය ක්ෂේත්‍රය අහිමි වීම; ප්‍රතිකාර නොකළහොත් අහිමි වීම ස්ථිර වේ.

    2. අන්ධභාවයට තුඩු දෙන දෘෂ්ටි ස්නායු රෝග

    a. දෘෂ්ටි ස්නායු ප්‍රදාහය (Optic Neuritis)

    • රෝග යාන්ත්‍රණය:
      • බොහෝවිට ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයක් (උදා: Multiple Sclerosis (MS) – ස්නායු ප්‍රෝටීන හානිවීමේ තත්වයක්) නිසා දෘෂ්ටි ස්නායුවේ ඇතිවන ප්‍රදාහ තත්වයක්.
      • මයලින් කොපුවල වන හානිය නිසා ආවේග සම්ප්‍රේෂණයට බාධා වීම.
    • ප්‍රතිඵලය: හදිසි පෙනීම නැතිවීම, සාමාන්‍යයෙන් යථා තත්වයට පත්කළ හැක.

    b. දෘෂ්ටි ස්නායුවේ ග්ලුකෝමා රෝගය

    • ඉහත සඬහන් කර ඇති පරිදි, පීඩනය නිසා ඇතිවන හානිය නිදන්ගත දෘෂ්ටි ස්නායු පරිහානියට හේතු වේ.

    3. අන්ධභාවයට හේතු වන මොළයට සිදුවන හානි

    a. මොළයේ බාහිකයට හානි වීම නිසා ඇතිවන අන්ධභාවය (බාහික අන්ධභාවය)

    • රෝග යාන්ත්‍රණය:
      • ආඝාතය, කම්පනය හෝ ඔක්සිජන් සැපයුම නොමැතිකම හේතුවෙන් මොළයේ දර්ශනයට සම්බන්ධ කොටසට (occipital lobe) හානි වීම.
    • ප්‍රතිඵලය: නිරෝගී ඇස් සහ දෘෂ්ටි ස්නායු තිබියදීත් දෘශ්‍යාබාධිත වීම.

    4. සංජානීය හෝ ජානමය ආබාධ

    • පාරම්පරික දෘෂ්ටි විතානයේ රෝගය (Retinitis Pigmentosa): ප්‍රභාග්‍රාහකවල (යෂ්ටි සහ කේතු සෛල) වල ජානමය පරිහානිය.
    • සංජානීය ඇසේ සුද හෝ ග්ලුකෝමා
    • ලෙබර්ගේ පාරම්පරික දෘෂ්ටි ස්නායු රෝගය (LHON): මයිටොකොන්ඩ්‍රියල් (කුඩා සෛල අංශුවක ක්‍රියාකාරී අසාමාන්‍යතාව) ආබාධය හේතුවෙන් දෘෂ්ටි ස්නායුවට හානි සිදු වේ.

    රෝග ලක්ෂණ

    රෝග ලක්ෂණ, හේතුව මත රඳා පවතී. අක්ෂි තුවාල, දියවැඩියාව, ග්ලුකෝමා, ආසාදන, දෘෂ්ටි විතානය වෙන්වීම සහ තවත් බොහෝ තත්වයන් අන්ධභාවයට හේතු වේ. කෙසේ වෙතත්, හදිසි පෙනීමේ වෙනසක් වැදගත් රෝග ලක්ෂණයකි.

    • සම්පූර්ණ පෙනීම නැතිවීම:
      සමහර අවස්ථාවලදී, හදිසි අන්ධභාවයට, සම්පූර්ණයෙන් පෙනීම නැති වී යා හැකි අතර එය පූර්ණ අන්ධභාවය ලෙස හැඳින්වේ. එහිදී පෙනීම නොමැතිකම සහ ඇසට ආලෝකය හඳුනාගත නොහැකි වීම සිදු වේ.
    • ක්‍රමයෙන් පෙනීම නැතිවීම:
      පෙනීම නැතිවීමේ අත්දැකීම වෙනස් විය හැකිය. සමහර පුද්ගලයින්ට ක්‍රමයෙන් පෙනීමේ දුර්වලතාවයක් අත්විඳිය හැකි අතර, තවත් සමහරුන්ට හදිසියේම සහ ඇති වෙමින් නැති වෙමින් පෙනීම නැති විය හැකිය.
    • වෙනත් රෝග ලක්ෂණ:
      පෙනීම නැතිවීමේ මූලික රෝග ලක්ෂණ වලට අමතරව, පුද්ගලයන්ට ඇස්වල වේදනාව, හිසරදය, රතු පැහැය, ද්විත්ව පෙනීම, විවිධ එළි පෙනීම හෝ දර්ශන පථය තුළින් ලප හෝ සෙවනැලි පෙනීම වැනි වෙනත් රෝග ලක්ෂණ අත්විඳිය හැකිය.

    වෛද්‍ය ප්‍රතිකාරවල වැදගත්කම:

    හදිසි පෙනීම නැතිවීම වෛද්‍යමය හදිසි අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර ඒ සඳහා වහාම ප්‍රතිකාර කළ යුතුය. මූලික අවධියේ දී ම රෝග නිශ්චය කර නිසි ප්‍රතිකාර මගින් ස්ථිර පෙනීම නැතිවීම හෝ වෙනත් සංකූලතා වළක්වා ගත හැකිය.

    රෝග විනිශ්චය

    රෝගියාගේ ඉතිහාසය, රෝගියා පරීක්ෂා කිරීම සහ අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල මත පදනම්ව, වෛද්‍යවරයාට, පුද්ගලයෙකුට අන්ධභාවයක්, දෘශ්‍යාබාධිතතාවයක් හෝ වෙනත් ගැටලුවක් තිබේද යන්න තීරණය කළ හැකිය.

    1. දෘශ්‍ය තීව්‍රතා පරීක්ෂණය:
      බොහෝ විට ස්නෙලන් ප්‍රස්ථාරයක් (Snellen chart) භාවිතා කරන මෙම පරීක්ෂණය, පුද්ගලයෙකුට නියමිත දුරකින් කොතරම් පැහැදිලිව දැකිය හැකිද යන්න මනිනු ලබයි. මෙය මූලික පෙනීම තක්සේරු කරන පරීක්ෂාවකි.
    2. දෘශ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණය:
      මෙම පරීක්ෂණය මගින් පුද්ගලයෙකුට තම ඇස් චලනය නොකර තම දෙපැත්තට හෝ ඉහළට  සහ පහළට දැකිය හැකි දේ තක්සේරු කරයි. මෙහිදී පර්යන්ත දර්ශනය පරීක්ෂා කරයි.
    3. අක්ෂි පරීක්ෂාව:
      කණිනිකාව ප්‍රසාරණය කිරීම ඇතුළුව සම්පූර්ණ අක්ෂි පරීක්ෂණයක් මඟින් වෛද්‍යවරුන්ට ඇසේ ව්‍යුහය පරීක්ෂා කිරීමට සහ ඇසේ සුද හෝ ග්ලුකෝමා වැනි පෙනීම නැතිවීමට හේතු විය හැකි ඕනෑම දෙයක් තක්සේරු කිරීමට ඉඩ සලසයි.
    4. වෙනත් පරීක්ෂණ:
      හඳුනාගත් සැක සහිත හේතුව මත පදනම්ව, වර්ණ දර්ශන පරීක්ෂණ, ප්‍රතිවිරුද්ධ සංවේදීතා පරීක්ෂණ (Contrast sensitivity tests) හෝ විශේෂිත රූපකරණ: විද්‍යුත් දෘෂ්ටි විතාන පරීක්ෂාව, දෘශ්‍ය සහසම්බන්ධතා ටොමොග්‍රැෆි (OCT), ෆ්ලෝරෝසීන් ඇන්ජියෝග්‍රැෆි (Fluorescein Angiography), මොළයේ MRI/CT පරීක්ෂා ඇතුළු අමතර පරීක්ෂණ සිදු කළ හැකිය.  සුළු පිරිසකට ජාන පරීක්ෂණ අවශ්‍ය විය හැකිය.

    ප්‍රතිකාර

    • ශල්‍යකර්ම: ඇසේ සුද, දෘෂ්ටි විතානය වෙන්වීම සහ සමහර අවස්ථාවල ග්ලුකෝමා වැනි තත්වයන් සඳහා ශල්‍යකර්ම ප්‍රතිකාර තිබේ.
    • ඖෂධ: ග්ලුකෝමා සහ දෘෂ්ටි විතානයේ දියවැඩියා වැනි තත්වයන් කළමනාකරණය කිරීමට සහ ආසාදන හෝ ප්‍රදාහ තත්ව සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ භාවිතා කළ හැකිය.
    • ලේසර් ප්‍රතිකාර: දෘෂ්ටි විතානයේ දියවැඩියා වැනි සමහර තත්වයන් සඳහා ලේසර් සැත්කම් විකල්පයක් විය හැකිය.
    • ජාන චිකිත්සාව: අන්ධභාවයට හේතු වන ඇතැම් ජානමය හේතූන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා සාර්ථක විය හැකි යැයි අපේක්ෂා කරන පර්යේෂණ ක්ෂේත්‍රයකි.
    • ප්‍රාථමික සෛල චිකිත්සාව: ප්‍රාථමික සෛල චිකිත්සාව යනු තවත් පර්යේෂණ ක්ෂේත්‍රයකි. දැනටමත් සමහර පූර්ව අත්හදා බැලීම්, ඇතැම් අවස්ථාවල පෙනීම වැඩිදියුණු කිරීමට හේතු වී ඇත.
    • උපකාරක තාක්ෂණය: දෘෂ්ඨි ආබාධ සහිත පුද්ගලයින්ට තම පරිසරයේ ගමන් කිරීමට සහ දෛනික කටයුතු පවත්වාගෙන යාමට විවිධ උපාංග සහ ශිල්පීය ක්‍රම උපකාරී වේ.
    • ජීවන රටාව ගළපා ගැනීම: බ්‍රේල් වැනි නව කුසලතා ඉගෙනීම සහ ජීවන රටා ගැලපුම් පාඨමාලා වලට සහභාගී වීම, පුද්ගලයන්ට පෙනීම නැතිවීමට අනුවර්තනය වීමට උපකාරී වේ.

    විශේෂිත තත්ත්ව:

    • දෘෂ්ටි විතානය දුර්වලවීම  : පෙනීම නැතිවීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීම සඳහා ඇසට එන්නත් ලබා දිය හැකිය.
    • ග්ලූකෝමා: මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඇසට දමන දියර හෝ ලේසර් සැත්කම් භාවිත කළ හැකිය.
    • ඇසේ සුද:  බොහෝවිට ශල්‍යකර්මයක් නිර්දේශ කරයි.
    • දෘෂ්ටි විතානයේ දියවැඩියාව: ලේසර් සැත්කම් හෝ එන්නත් මගින් තවදුරටත් පෙනීම නැතිවීම වළක්වා ගත හැකිය.
    • ආසාදිත තත්වයන්: අන්ධභාවයට හේතු වන ආසාදිත හේතූන්වලට ආසාදන විරෝධී ඖෂධ මගින් ප්‍රතිකාර කළ හැකිය.

    අන්ධභාවය වළක්වා ගන්නේ කෙසේද?

    1. නිරන්තර අක්ෂි පරීක්ෂණ:

      • අවම වශයෙන් වසරකට වරක්වත් පූර්ණ අක්ෂි පරීක්ෂණයක් සිදුකර ගන්න.
        මෙය වෛද්‍යවරුන්ට අක්ෂි රෝග කලින් හඳුනා ගැනීමට ඉඩ සලසයි. එවිට ඒවාට ප්‍රතිකාර කිරීම බොහෝ විට පහසු වේ.
      • සෑමවිටම පියවරක් ඉදිරියෙන් කටයුතු කිරීම සහ අක්ෂි පරීක්ෂණවලට යොමු වීම.
        බොහෝ අක්ෂි රෝග ඒවායේ මුල් අවධියේදී හඳුනාගත හොත් සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකි බැවින්, කලින් හඳුනා ගැනීම, පෙනීම නැතිවීම වැළැක්වීමේ යතුර බව ජාතික අක්ෂි ආයතනය පවසයි.

      2. සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කරන්න:

      • ඔබට දියවැඩියාව තිබේ නම් රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න.
        දෘෂ්ටි විතානයේ දියවැඩියව යනු පෙනීම නැති වීමට ප්‍රධාන හේතුවක් වන බැවින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
      • රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය කරන්න.
        අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ද අක්ෂි රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය.
      • දුම්පානයෙන් වළකින්න.
        ඇසේ සුද සහ ඇසේ කහ ලපය ක්ෂය වීම වැනි අක්ෂි රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.

      3. ඔබේ ඇස් ආරක්ෂා කරන්න:

      • ආරක්ෂිත ඇස් කණ්ණාඩි පළඳින්න. 
        වැඩ කරන විට හෝ ඔබේ ඇස්වලට හානි කළ හැකි ක්‍රියාකාරකම්වලට සහභාගී වන විට. ආරක්ෂිත කණ්නාඩි, ඇස් කණ්ණාඩි හෝ පලිහ භාවිත කිරීම. (උදා: තණකොළ කැපීම, ඇඹරුම් යන්ත්‍ර සමඟ වැඩ කිරීම ආදිය, ස්කොෂ් සහ බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා)
      • 99-100% UV-A සහ UV-B ආරක්ෂාවක් සහිත අව් කණ්ණාඩි පළඳින්න.
        දිගු කාලීනව හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබේ ඇස්වලට හානි සිදුවිය හැකි අතර ඇසේ සුද ඇතිවීමේ අවදානම සහ අනෙකුත් අක්ෂි රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.
      • පළල් තොප්පියක් පැළඳීමට අවධානය යොමු කිරීම:
        මෙය ඔබේ ඇස් හිරු එළියෙන් තවදුරටත් ආරක්ෂා කරයි.

      4. ජීවන රටා පුරුදු:

      • පලතුරු සහ එළවළු වලින් පොහොසත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න.
        සමබල ආහාර වේලක් මඟින් ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයයි.
      • ප්‍රමාණවත් ව්‍යායාම ලබා ගන්න. 
        ශාරීරික ක්‍රියාකාරකම් රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කිරීමට උපකාරී වන අතර අන්ධභාවයට ප්‍රධාන හේතුවක් වන දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.
      • ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කිරීම. 
        විජලනය අක්ෂි සෞඛ්‍යයට බලපෑ හැකිය. එබැවින් ප්‍රමාණවත් තරම් ජලය සහ අනෙකුත් දියර වර්ග පානය කිරීම වැදගත් වේ.
      • අක්ෂි තෙහෙට්ටුව සඳහා 20-20-20 රීතිය අනුගමනය කිරීම.
        ඔබ තිර දෙස බොහෝ වේලාවක් බලා සිටින්නේ නම්, සෑම විනාඩි 20 කට වරක් තත්පර 20 ක විවේකයක් ගෙන අඩුම අඩි 20 ක් දුරින් ඇති දෙයක් දෙස බලන්න.
      • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
        අක්ෂි සෞඛ්‍යය ඇතුළු සමස්ත සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් නින්දක් වැදගත් වේ.

      5. වෘත්තීය සහාය ලබා ගැනීම:

      • ඔබේ පෙනීමේ හදිසි වෙනස්කම් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
        ස්ථිර පෙනීම නැතිවීම වැළැක්වීම සඳහා මුල් අවස්ථාවේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ඉතා වැදගත් වේ.
      • ඔබේ අක්ෂි සෞඛ්‍යය ගැන ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, අක්ෂි වෛද්‍යවරයෙකු හමුවන්න.
        ඔබේ දෘෂ්ටිය ආරක්ෂා කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් ඔබට  පුද්ගලාරෝපිත උපදෙස් සහ නිර්දේශ ලබා දෙනු ඇත.

      6. අන්ධභාවයට හේතු විය හැකි හේතු සහ අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳ දැනුවත් වන්න:

      වයස හා සම්බන්ධ අක්ෂි රෝග:

      • වයස යාමත් සමග ඇතිවන දෘෂ්ටි විතානයේ දුර්වලතා (AMD):
        වැඩිහිටි පුද්ගලයන්ගේ පෙනීම නැතිවීමට ප්‍රධානතම හේතුව වන AMD, දෘෂ්ටි විතානයේ මධ්‍යම කොටස වන කහ ලපයට බලපාන අතර එමඟින් මධ්‍යම දර්ශනය බොඳ වී හෝ විකෘති වී ඇත. පෙනීම නැතිවීම ආපසු හැරවිය නොහැකි විය හැකිය.
      • ඇසේ සුද:
        බොහෝ විට වයසට යන විට ඇසේ කාචය වලාකුළු සහිත වීම නිසා පෙනීම බොඳ වී අඳුරු වේ. මෙම පෙනීම නැතිවීම ආපසු හැරවිය හැකිය.
      • ග්ලූකෝමා:
        දෘෂ්ටි ස්නායුවට සිදුවන හානිය, ආපසු හැරවිය නොහැකි පෙනීම නැති වීමට හේතු විය හැකි අතර, බොහෝ විට පර්යන්ත දර්ශනයෙන් ආරම්භ වේ.
      • දෘෂ්ටි විතානයේ දියවැඩියාව:
        වයස අවුරුදු 25-64 අතර වැඩිහිටියන්ගේ අන්ධභාවයට ප්‍රධාන හේතුවක් වන දියවැඩියාව හේතුවෙන් දෘෂ්ටි විතානයේ රුධිර නාල වලට හානි වීම. 

      වෙනත් හේතු:

      • වර්තන දෝෂ: අවිදුර දෘෂ්ටිකත්වය (myopia), දුර දෘෂ්ටිකත්වය (hyperopia), සහ විෂම දෘෂ්ටිකතාව. කණ්නාඩි හෝ ස්පර්ශ කාච භාවිතයෙන් නිවැරදි කළ හැකිය.
      • කම්පන: අනතුරු හෝ ක්‍රීඩා හේතුවෙන් ඇස්වලට සිදුවන තුවාල අන්ධභාවයට හේතු විය හැක.
      • ආසාදන: ක්ලැමීඩියා ට්‍රැකෝමැටිස් නම් බැක්ටීරියාව නිසා ඇති වන ට්‍රැකෝමා ආසාදනයට ප්‍රතිකාර නොකළහොත් අන්ධභාවයට පත්විය හැකිය.
      • සංජානීය දෝෂ: සමහර පුද්ගලයින් උපතින්ම ඇනොප්තැල්මියා (ඇසක් නොමැතිකම) හෝ වපරය වැනි තත්වයන්ගෙන් පෙළෙන අතර එමඟින් පෙනීම නැති විය හැකිය.
      • නොමේරු ළදරුවන්ගේ දෘෂ්ටි විතානයේ ආබාධ: නොමේරූ ලෙස උපත ලබන ළදරුවන්ට බලපාන තත්වයක් වන අතර එමඟින් දෘෂ්ටි විතානයේ අසාමාන්‍ය රුධිර නාල වර්ධනයක් ඇති වේ. 
      • විටමින් A ඌනතාවය: ලොව පුරා ළමුන් තුළ අන්ධභාවයට ප්‍රධාන හේතුවක්.
      • ජානමය තත්වයන්: පාරම්පරික දෘෂ්ටි විතානයේ රෝගය වැනි තත්වයන් ක්‍රමයෙන් පෙනීම නැති වීමට හේතු විය හැක.
      • වෙනත් රෝග: දෘෂ්ටි ස්නායු රෝග, ආඝාතය සහ පිළිකා වැනි තත්වයන් ද පෙනීම නැති වීමට හේතු විය හැක.

      සාරාංශය

      අන්ධභාවයේ ව්‍යාධිජනක ක්‍රියාවලියට කනීනිකාව සහ අක්ෂි කාචයේ සිට දෘෂ්ටි විතානය, දෘෂ්ටි ස්නායුව හෝ මොළය දක්වා දෘශ්‍ය මාර්ගයේ ඇතිවන ගැටලු ඇතුළත් වේ. පොදු හේතු අතරට සනාල හානි (රුධිර වාහිනීවලට සිදුවන හානි), ස්නායු පරිහානිය, අභ්‍යන්තර පීඩනය වැඩිවීම, ප්‍රදාහක තත්ව සහ ජාන විකෘති ඇතුළත් වේ. වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම මූල හේතුව සහ කලින් හඳුනා ගැනීම මත රඳා පවතී.

      කළ යුතු දේ

      • ඔබට දියවැඩියාව තිබේ නම් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න.
      • රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය කරන්න.
      • සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වන්න.
      • ඔබේ ඇස් ආරක්ෂා කරගන්න.
      • නිතර ඔබේ ඇස් පරීක්ෂා කරගන්න.

      නොකළ යුතු දේ

      • පෙනීමේ හදිසි වෙනස්වීම් නොසලකා හැරීම.
      • දුම්පානය

      මූලාශ්‍ර: MC,CC, NHS, BHS, WHO

      Leave a Reply

      Your email address will not be published. Required fields are marked *