ඩිමෙන්ශියාව

ඩිමෙන්ශියාව (චිත්ත වික්ෂේපණය) යනු කුමක්ද?

  • ඩිමෙන්ශියාව යනු එදිනෙදා කටයුතු කරන අතරතුර කෙනෙකුට මතක තබා ගැනීමට, පැහැදිලිව සිතීමට හෝ තීරණ ගැනීමට නොහැකි වන තත්ත්වයකි.
  • ඇල්සයිමර් රෝගය යනු වඩාත් සුලභ ඩිමෙන්ශියා වර්ගයයි.
  • විවිධ වර්ගයේ ඩිමෙන්ශියා රෝග ගැන දැනුවත් වීම වැදගත් වේ.
  • එක්සත් ජනපදයේ වයස්ගත වැඩිහිටියන් මිලියන 6.7 ක් ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇත. 2060 වන විට එම සංඛ්‍යාව දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයින්ට බොහෝ විට මතක තබා ගැනීම, සිතීම හෝ එදිනෙදා තීරණ ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත. මෙම රෝග ලක්ෂණ කාලයත් සමඟ නරක අතට හැරේ. ඩිමෙන්ශියාව බොහෝ විට වැඩිහිටියන්ට බලපාන නමුත්, එය සාමාන්‍ය වයසට යාමේ ලක්ෂණයක් නොවේ.

ඩිමෙන්ශියා වර්ග 4 ක් ඇත.

  1. ඇල්සයිමර් රෝගය
    ඇල්සයිමර් රෝගය ඩිමෙන්ශියා රෝගයේ වඩාත් සුලභ වර්ගයයි. එය ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 60% සිට 80% දක්වා ප්‍රමාණයකට හේතු වේ.

    හේතුව: ඇල්සයිමර් රෝගය ඇතිවීමට ප්‍රවේණික සාධක, හැසිරීම් සහ පුරුදු ඇතුළු බොහෝ සාධක දායක වේ.

    රෝග ලක්ෂණ: රෝග ලක්ෂණ අතර කෙටි කාලීන මතකයේ ගැටළු හෝ හුරුපුරුදු ප්‍රදේශවල අතරමං වීම ඇතුළත් වේ.
  2. සනාල ඩිමෙන්ශියාව
    සනාල ඩිමෙන්ශියාව දෙවන වඩාත් සුලභ ඩිමෙන්ශියාවයි. එය ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 5%−10% ක් පමණ වේ.

    හේතුව: සනාල ඩිමෙන්ශියාව ඇති වන්නේ ආඝාතය හෝ මොළයට රුධිරය සැපයීම ආශ්‍රිත වෙනත් ගැටළු නිසාය.

    රෝග ලක්ෂණ: මොළයේ බලපෑමට ලක් වූ ප්‍රදේශය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.

    අවදානම් සාධක: රුධිර වාහිනී වලට හානි කරන අනෙකුත් තත්වයන් ද පුද්ගලයෙකුට සනාල ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය. මේවාට දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ඇතුළත් වේ.
  3. ලුවී දේහ ඩිමෙන්ශියාව
    ලුවී දේහ ඩිමෙන්ශියාව සිතීම, චලනය, හැසිරීම සහ මනෝභාවය පිළිබඳ ගැටළු ඇති කළ හැකිය. එය ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 10%කට අඩු ප්‍රමාණයකට හේතු වේ.

    හේතුව: මෙම වර්ගයේ ඩිමෙන්ශියාව ඇතිවන්නේ මොළයේ ඇති “ලුවී දේහ” ලෙස හඳුන්වන ප්‍රෝටීනයක අසාමාන්‍ය ලෙස තැන්පත්වීම මගිනි. මෙම තැන්පතු මොළයේ ඇති රසායනික ද්‍රව්‍යවලට සං‍යුතියට බලපායි.

    රෝග ලක්ෂණ: මෙම වර්ගයේ ඩිමෙන්ශියාව මතක ශක්තිය නැතිවීමට මෙන්ම තද ගතිය හෝ වෙව්ලීම වැනි චලනය හෝ සමබරතාවයේ ගැටළු ඇති කළ හැකිය. තවද මෙයින් පෙළෙන බොහෝ දෙනෙකුට දිවා කාලයේ නිදිමත, ව්‍යාකූලත්වය, ඇසිල්ලේ සිහිය නැතිවන අවස්ථා (කුඩා වෙලාවක් හිස් අවකාශය දෙස ඔහේ බලාගෙන සිටීම) , නින්දට බාධා හෝ දෘශ්‍ය මායාවන් ද අත්විඳිය හැකිය.

    අවදානම් සාධකලුවී දේහ ඩිමෙන්ශියාවට සම්බන්ධ නිශ්චිත ජාන හෝ අවදානම් සාධක පර්යේෂකයන් තවමත් හඳුනාගෙන නොමැත. රෝග විනිශ්චය කරන ලද බොහෝ පුද්ගලයින්ට මෙම ආබාධය පිළිබඳ පවුල් ඉතිහාසයක් ද නොමැත.
  4. ඉදිරිපස බාහික (Frontotemporal dementia – FTD) ඩිමෙන්ශියාව
    මෙහිදී මොළයේ ඉදිරිපස බාහිකයේ ඉදිරි හා පැති අර්ධවලට බලපායි. එය බොහෝ විට පෞරුෂත්වයේ සහ හැසිරීමේ වෙනස්කම් වලට තුඩු දෙයි. FTD යනු තරුණ පුද්ගලයින්ට බලපාන ඩිමෙන්ශියාවට පොදු හේතුවකි. FTD යනු මොළයේ ඉදිරිපස සහ පැති අර්ධවල ස්නායු සෛලවලට හානි වීමේ ප්‍රතිඵලයකි. එය ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 10% කට වඩා අඩු ප්‍රමාණයකට හේතු වේ.

    හේතුව: FTD යනු මොළයේ ඉදිරිපස සහ පැති අර්ධවල ස්නායු සෛලවලට හානි වීමේ ප්‍රතිඵලයකි.

    රෝග ලක්ෂණ: FTD ඇති පුද්ගලයෙකුට ක්‍රියාකාරකම් සැලසුම් හෝ සංවිධානය කිරීමේදී දුෂ්කරතා අත්විඳිය හැකිය. ඔවුන් සමාජීය හෝ රැකියා ස්ථානවල අසාමාන්‍ය ලෙස ක්‍රියා කළ හැකි අතර අන් අය සමඟ සන්නිවේදනය කිරීමේදී ගැටළු ඇති විය හැකිය.

    අවදානම් සාධක: FTD රෝගීන්ගෙන් තුනෙන් එකක් පමණ ප්‍රවේණිය නිසා මෙම තත්ත්වයට මුහුණ දෙයි. FTD හෝ ඒ හා සමාන ආබාධයක පවුල් ඉතිහාසයක් තිබීම දන්නා එකම අවදානම් සාධකය වේ.

ඇල්සයිමර් ඩිමෙන්ශියාව ඇතිවීමට හේතුව කුමක්ද?

ඇල්සයිමර් ඩිමෙන්ශියාවේ (AD) රෝග යාන්ත්‍රණයට මොළයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය අඛණ්ඩව හා ක්‍රමයෙන් පහත වැටීම ඇතුළත් වේ. මෙය මොළයේ අසාමාන්‍ය ප්‍රෝටීන සමුච්චය වීම නිසා ඇති වන අතර එමඟින් ස්නායු අතර සන්නිවේදනයට බාධා ඇති වීම සහ ස්නායු මිය යා සහ අවසානයේ මොළයේ ප්‍රමාණය අඩු වේ (රූපය 4.1). විශේෂයෙන් වැඩිහිටි වැඩිහිටියන් තුළ ඩිමෙන්ශියාවට වඩාත් පොදු හේතුව එයයි.

රූපය 4.1: ඇල්සයිමර් ඩිමෙන්ශියා රෝගයේ යාන්ත්‍රණය

1. ඇමිලොයිඩ් තැන්පත් වීම.

  • ඇමිලොයිඩ් පූර්වගාමී ප්‍රෝටීන් (APP) යනු මොළයේ ඇති සාමාන්‍ය ප්‍රෝටීනයකි. ඇල්සයිමර් රෝගයේදී, APP හි අසාමාන්‍ය බෙදීමක් සිදු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා පෙප්ටයිඩ අංශු ඇති වන අතර, ඒවායින් සමහරක් එකතු වීමට වැඩි ප්‍රවණතාවක් ඇත.
  • අනෙකුත් පෙප්ටයිඩ (Aβ පෙප්ටයිඩ) ස්නායු සෛල වටා එකතු වී ඇමිලොයිඩ් තැන්පතුව (ඵලක) සාදයි.
  • මෙම තැන්පතු සෛල අතර සන්නිවේදනයට බාධා කරන අතර මොළයේ ප්‍රදාහ තත්ව ඇති කරන අතර ස්නායු ආබාධවලට දායක වේ.

2. ටෝ ප්‍රෝටීනවල අක්‍රමවත්බව නිසා ඇතිවන ස්නායු තන්තු බාධක (Neurofibrillary Tangles)

  • ටෝ යනු ස්නායු සෛල තුළ ක්ෂුද්‍ර නාළිකා ස්ථායීකරණය කරන ප්‍රෝටීනයකි.
  • ඇල්සයිමර් රෝගයේදී, ටෝ අසාමාන්‍ය ලෙස දැඩි වී (hyperphosphorylation) ඒවා ක්ෂුද්‍ර නාළ වලින් වෙන් වී ගොස් වෙනම එකතු වී ස්නායු සෛල තුළ සන්නායක බාධක (Neurofibrillary Tangles – NFT) සාදයි.
  • මෙය ස්නායු සෛල තුළ විද්‍යුත් ස්පන්ද සම්ප්‍රේෂණය කරන ඇක්සෝනවලට බාධා කරන අතර එමඟින් සෛල අක්‍රියතාවයට හා මියයාමට හේතු වේ.

3. ස්නායු ප්‍රදාහක තත්ත්ව

  • Aβ තැන්පතු සහ NFT මගින් මොළයේ ප්‍රතිශක්තිකරණ සෛල වන මයික්‍රොග්ලියා (microglia) සහ තාරකා සෛල සක්‍රීය කරයි.
  • මෙම සෛල මගින් ප්‍රදාහක සයිටොකයින් සහ ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් විශේෂ මුදාහරින අතර එමඟින් ස්නායු වලට තවදුරටත් හානි සිදු වේ.

4. උපගාම (Synaptic) අක්‍රියතාව සහ ස්නායු මියයාම

  • ස්නායු අතර සන්නිවේදනයට බාධා ඇතිවීම මතක ශක්තිය නැති වීමට සහ සංජානන පරිහානියට හේතු වේ.
  • විශේෂයෙන් හිපොකැම්පස් (hippocampus) සහ මස්තිෂ්ක බාහිකයේ (cerebral cortex) ක්‍රමයෙන් සිදුවන ස්නායු හානි, රෝග ලක්ෂණ නරක අතට හැරීමට හේතු වේ.

5. මොළයේ ප්‍රමාණය අඩු වීම – ක්ෂය වීම (atrophy)

  • අඛණ්ඩව සෛල මියයාම පහත සඳහන් දේට හේතු වේ:
    • මස්තිෂ්ක බාහිකයේ හැකිලීම. (රූපය 4.2)
    • මොළයේ වැඩියෙන් වතුර එකතු වීම.
    • හිපොකැම්පස් හි ප්‍රමාණය අඩු වීම (මතකය සඳහා වැදගත් වේ).
රූපය 4.2: නිරෝගී මොළයක (වමේ) සහ ඇල්සයිමර් මොළයක (දකුණේ) හරස්කඩ

ඇල්සයිමර් රෝගයේ අවධීන්

  1. පූර්ව සායනික අවධිය: රෝග ලක්ෂණ ඇතිවීමට වසර ගණනාවකට පෙර රෝග ක්‍රියාවලිය ආරම්භ වේ.
  2. සරල සංජානන දුර්වලතා (MCI): අමතක වීම.
  3. ඇල්සයිමර් ඩිමෙන්ශියාව: ක්‍රමානුකූලව මතක ශක්තිය නැතිවීම, කාලය සහ තමා පිළිබඳ අවබෝධය පිරිහීම, භාෂා හැකියාව අඩුවීම, පෞරුෂ වෙනස්කම්.

අවදානම් සාධක

  • වයස: ප්‍රධානම අවදානම් සාධකය (නමුත් ඇල්සයිමර් සාමාන්‍ය වයසට යාමේ ලක්ෂණයක් නොවේ.)
  • ඇපොලිපොප්‍රෝටීන් E (APOE-ε4): අවදානම වැඩි කරන අතර ඇල්සයිමර් ආරම්භක වයස අඩු කරයි.
  • ඇල්සයිමර් රෝගයේ සහිත පවුල් ඉතිහාසයක් තිබීම.
  • සනාල අවදානම් සාධක: අධි රුධිර පීඩනය, දියවැඩියාව, දුම්පානය, තරබාරුකම
  • ඩවුන් සින්ඩ්‍රෝමය: 21 වන වර්ණදේහයේ අමතර APP ජානය හේතුවෙන්

රෝග විනිශ්චය

සමහර මතක ගැටලු ඩිමෙන්ශියාව නිසා ඇති විය හැක. ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට ඩිමෙන්ශියාව ඇති බව ඔබ සිතන්නේ නම්, වෛද්‍යවරයෙකු හමු වී ඒ පිළිබඳ කතා කරන්න. වෛද්‍යවරයාට හා එක්ව ගැටලුව සහ එයට හේතුව කුමක්දැයි සොයා ගැනීමට කටයුතු කළ හැක. ඔබට ඩිමෙන්ශියාව ඇත්නම් එය ඉක්මනින් හඳුනාගත හැකි තරමට, එහි වර්ධනය මන්දගාමී කිරීම සඳහා ඔබට ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කළ හැකිය.

වෛද්‍යවරයා විසින්:

  • රෝගය නිශ්චය කරගැනීම සඳහා අවධානය, මතකය, ගැටලු විසඳීම සහ අනෙකුත් මොළයේ ක්‍රියාකාරිත්වය ආශ්‍රිත ගැටලු තිබේද යන්න පිළිබඳ අවධානය යොමු කරනු ඇත.
  • මූලික හේතුව සොයා ගැනීම සඳහා ඔබේ මොළය පරීක්ෂා කරනු ඇත.

පරීක්ෂාවට ඔබේ වෛද්‍ය ඉතිහාසය ගැනීම සහ පහත පරීක්ෂණ ඇතුළත් විය හැකිය:

  • භෞතික පරීක්ෂණ (physical test) සහ රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ.
  • ස්නායු පරීක්ෂණ.
  • විෂාදය හඳුනාගැනීමේ පරීක්ෂාව.
  • රුධිර පරීක්ෂණ.
  •  CT හෝ MRI වැනි මොළයේ ස්කෑන් පරීක්ෂා.

ප්‍රතිකාර

ඩිමෙන්ශියාව සඳහා භාවිත කරන ප්‍රතිකාර වර්ගය එයට මූලික හේතුව මත රඳා පවතී.

  • රෝග ලක්ෂණ සහනය: සමහර රෝග ලක්ෂණ තාවකාලිකව සමනය කරන ඖෂධ තිබේ. මෙම ඖෂධ බොහොමයක් ඩිමෙන්ශියා රෝගයේ මුල් හෝ මැද අවධියේ සිටින පුද්ගලයින් සඳහා වඩාත් හොඳින් ක්‍රියා කරයි.
  • රෝගය ප්‍රමාද කිරීම: ඩිමෙන්ශියා රෝගයේ වර්ධනය මන්දගාමී කළ හැකි ඖෂධ තිබේ.

ඩිමෙන්ශියාව වළක්වා ගන්නේ කෙසේද?

  1. දුම්පානය සහ අධික මත්පැන් පානයෙන් වළකින්න:
    දුම්පානය සහ අධික මත්පැන් පානය රුධිරවාහිනී සහ මොළයට හානි කළ හැකි අතර, ඩිමෙන්ශියා අවදානම වැඩි කරයි.
  2. පවතින සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කරන්න:
    ඔබට දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි වෙනත් සෞඛ්‍ය තත්වයන් තිබේ නම්, ඩිමෙන්ශියාව වර්ධනය වීමේ අවදානම අඩු කිරීම සඳහා ඒවා සාර්ථක ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.
  3. හිසට හානි/ ආබාධ සිදුවීම වැළැක්වීම:
    හිසට සිදුවන හානි ඩිමෙන්ශියා අවදානම වැඩි කළ හැකි බැවින්, ඒවා වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ.
  4. ඔබේ පෙනීම සහ ශ්‍රවණය ආරක්ෂා කරගන්න:
    පෙනීම සහ ශ්‍රවණාබාධ සංජානන ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි අතර ඩිමෙන්ශියා අවදානම වැඩි කරයි. එබැවින් ඕනෑම පෙනීමේ හෝ ශ්‍රවණ ගැටළු සාර්ථක ලෙස කළමනාකරණය කිරීම වැදගත් වේ.
  5. ප්‍රමාණවත් නින්දක් ගැනීම:
    සෑම රාත්‍රියකම පැය 7-8 ක ගුණාත්මක නින්දක් ලබා ගැනීමට ඉලක්ක කරගන්න. දුර්වල නිදාගැනීමේ පුරුදු සංජානන පරිහානියට දායක විය හැක.
  6. ශාරීරික ක්‍රියාකාරකම්:
    සතියකට මිනිත්තු 150 ක් පමණ ව්‍යායාම කිරීම (වේගයෙන් ඇවිදීම වැනි තීව්‍ර නොවන මධ්‍යස්ථ ක්‍රියාකාරකම් පවා) හෘද සෞඛ්‍යය වැඩි දියුණු කර ඩිමෙන්ශියා අවදානම අඩු කළ හැකිය.
  7. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්:
    පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග වලින් පොහොසත් සමබර ආහාර වේලක් සමස්ත සෞඛ්‍යයට සහ මොළයේ සෞඛ්‍යයට දායක විය හැකිය.
  8. බර පාලනය:
    සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන් ඩිමෙන්ශියා අවදානම වැඩි කිරීමට සම්බන්ධ දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.
  9. මානසික උත්තේජනය:
    නව කුසලතා ඉගෙනීම, කියවීම හෝ ප්‍රහේලිකා විසඳීම වැනි මානසික වශයෙන් අභියෝගාත්මක ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඔබේ මොළය ක්‍රියාශීලීව තබා ගැනීමට සහ සංජානන පරිහානිය ඇතිවීමේ අවදානම අඩු කර ගත හැකිය.
  10. සමාජ සබඳතා ඇති කරගැනීම:
    ශක්තිමත් සමාජ ජාලයක් පවත්වා ගැනීම සහ සමාජ ක්‍රියාකාරකම්වල යෙදීම මගින් ඩිමෙන්ශියා අවදානම වැඩි කිරීමට හේතු වී ඇති තනිකම සහ සමාජ හුදකලාව මැඩපැවැත්විය හැකිය.
  11. අවදානම් සාධක පිළිබඳ දැනුවත් වීම:
  • පවුල් ඉතිහාසය ඇල්සයිමර් සහ FT ඩිමෙන්ශියාව සඳහා අවදානම් සාධකයකි. ඔබේ පවුලේ අවදානම් සාධක තේරුම් ගැනීම ඔබේම අවදානම අඩු කර ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට උපකාරී වේ.
  • ඔබ හෝ ඔබේ ආදරණීයයෙකු මතකය සම්බන්ධ ගැටලු ගැටළු හෝ වෙනත් සංජානන වෙනස්කම් අත්විඳින්නේ නම්, මුල් අවධියේදී ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

සාරාංශය

ඩිමෙන්ශියාව නිශ්චිත රෝගයක් නොවේ. එය දෛනික ජීවිතයට බාධා කරන මානසික හැකියාවේ අඩුවීමක් විස්තර කරන සමස්ත යෙදුමකි. එය මතකය, සිතීම සහ හැසිරීමට බලපායි. කෙසේ වෙතත්, ඩිමෙන්ශියාව සාමාන්‍ය වයසට යාමේ ලක්ෂණයක් නොවේ. ඩිමෙන්ශියා වර්ග 4 ක් ඇත: ඇල්සයිමර්, සනාල, ලුවී දේහ සහ FTD. ඇල්සයිමර් රෝගය ඇමිලොයිඩ් තැන්පත් වීම සහ ටෝ ප්‍රෝටීන අක්‍රමවත් ලෙස සමුච්චය වීම නිසා ඇතිවන ප්‍රදාහක තත්ව, ස්නායු අතර සම්බන්ධය අඩාල වීම සහ ස්නායු මියයාම නිසා ඇති වේ. මෙය ප්‍රතිකාරයක් නොමැති නිදන්ගත, ක්‍රමයෙන් වර්ධනය වන ආබාධයකි. නමුත් මුල් රෝග විනිශ්චය සහ කළමනාකරණය මගින් වර්ධනය මන්දගාමී කළ හැකිය.

කළ යුතු දේ

  • මානසිකව හා සමාජීය වශයෙන් ක්‍රියාශීලීව සිටීම.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම.
  • ව්‍යායාම කිරීම.
  • රුධිරයේ සීනි මට්ටම හෝ දියවැඩියාව පාලනය කිරීම.

නොකළ යුතු දේ

  • දුම්පානය
  • මත්පැන් අධික ලෙස පානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *