විෂාදය යනු සරලව ඔබ දින කිහිපයක් අසතුටින් හෝ විඩාවට පත්ව සිටීමට වඩා සැලකිය යුතු තත්ත්වයකි.
- බොහෝ අයට අසතුටුදායක සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන අතර, තාවකාලික වශයෙන් දුක්මුසු භාවයට පත් විය හැක. නමුත් ඔබ විෂාදයෙන් පෙළෙන විට, දින කිහිපයක් පමණක් නොව, සති හෝ මාස ගණනක් ඔබට නිරන්තරයෙන් දුකක් දැනේ.
- සමහර අය විෂාදය යනු සුළු දෙයක් බවත් එය සැලකිය යුතු සෞඛ්‍ය තත්වයක් නොවන බවත් කල්පනා කරයි. නමුත් ඔවුන් වැරදියි. එය සැබෑ රෝග ලක්ෂණ සහිත සැබෑ රෝගයකි. විෂාදය යනු දුර්වල පෞරුෂයක ලකුණක් හෝ ඔබට අවශ්‍ය වූ විටක ඔබව ඉන් ඉවතට ගත හැකි තත්වයක් නොවේ.
- සතුටට කරුණ නම් නිවැරදි ප්‍රතිකාර සහ සහාය ඇතිව, විෂාදයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට සම්පූර්ණ සුවය ලබා ගත හැකි වීමයි.
විෂාදයට හේතුව කුමක්ද?
විෂාදයේ රෝග යාන්ත්‍රණය සංකීර්ණ හා විවිධ හේතු නිසා සිදුවන අතර එයට ජීව විද්‍යාත්මක, මානසික සහ පාරිසරික සාධකවල එකතුවක් ඇතුළත් වේ. ඒ පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ:
1. ස්නායු සම්ප්‍රේෂකවල අසමතුලිතතාවය
- සෙරොටොනින් (5-HT), නොරපිනෙප්‍රින් (NE) සහ ඩොපමින් (DA) යනු මනෝභාවය නියාමනයට සම්බන්ධ වන ප්‍රධාන ස්නායු සම්ප්‍රේෂක වේ.
- මෙම පද්ධතිවල ක්‍රියාකාරිත්වය අඩුවීම හෝ අසමතුලිතතාවය අඩු මනෝභාවය, තෙහෙට්ටුව, ඇනෙඩෝනියාව සහ මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම වැනි රෝග ලක්ෂණ වලට හේතු වේ.
2. හයිපොතලමස-පිටියුටරි-අධිවෘක්ක (HPA Axis) අක්ෂයේ නියාමනය දුර්වල වීම
- නිදන්ගත ආතතිය HPA අක්ෂයේ නියාමනයට බාධා කළ හැකි අතර, එය කෝටිසෝල් (Cortisol) මට්ටම ඉහළ යාමට හේතු වේ.
- ඉහළ කෝටිසෝල් මට්ටම මොළයේ නව ස්නායු උත්පාදනයට බාධා කරන අතර මනෝභාවය සහ සංජානනය සඳහා ඉතා වැදගත් වන හිපොකැම්පස් සහ ඉදිරිපස බාහිකය වැනි මොළයේ ප්‍රදේශවලට බලපායි.
3. ස්නායු ප්‍රදාහක තත්ත්ව
- විෂාදයෙන් පෙළෙන බොහෝ රෝගීන් තුළ ප්‍රදාහයට හේතු වන සයිටොකයින් (උදා: IL-6, TNF-α) මට්ටම්වල වැඩි වීමක් දක්නට ලැබේ.
- මෙම සයිටොකයින් ස්නායු සම්ප්‍රේෂක පරිවෘත්තීය ක්‍රියාවලියට සහ මොළයේ ජීවගුණයට බලපෑම් කළ හැකි අතර, විෂාද රෝග ලක්ෂණ ඇති කිරීමට දායක වේ.
4. මොළයේ ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී වෙනස්කම්
- විෂාදයෙන් පෙළෙන පුද්ගලයින්ගේ හිපොකැම්පස්, ඉදිරිපස බාහිකය සහ ඉදිරිපස සින්ගුලේට් බාහිකයේ පරිමාව අඩු වී ඇති බව රූප අධ්‍යයනයන් මගින් පෙන්නුම් කෙරේ.
- ඇමිග්ඩලා සහ Default Mode Network (DMN) යන මොළයේ කොටස්වල අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා, සෘණාත්මක දේවල් පිළිබඳ නැවත නැවත සිතීම සහ චිත්තවේගීය අක්‍රමිකතා ඇතිවේ.
5. ජානමය සහ අපිප්‍රවේණික සාධක
- විෂාදය ඇති වීම සඳහා පාරම්පරික සාධක යම් ප්‍රතිශයක් බලපායි. (ආසන්න වශයෙන් 30–40%)
- සෙරොටොනින් ප්‍රවාහනයට සම්බන්ධ ජාන (උදා: 5-HTTLPR), ආතති ප්‍රතිචාරය, නව ස්නායු සම්බන්ධතා ඇතිවීමට සහ ප්‍රතිසංවිධානය වීමට (Neuroplasticity) සම්බන්ධ ජානවල ඇතිවන ගැටලු ද හේතු විය හැක.
- කුඩා අවධියේ පටන් මුහුණ දීමට සිදුවන ආතතික තත්වයන් නිසා ඇතිවන DNA මෙතිලීකරණය වැනි අපිප්‍රවේණික වෙනස්කම් අවදානම වැඩි කළ හැකිය.
6. මනෝ සමාජීය සහ පාරිසරික ප්‍රේරක
- ළමා වියේ ඇතිවන කම්පන, නොසලකා හැරීම්, අහිමි වීම්, අපයෝජනය සහ නිදන්ගත ආතතිය ප්‍රධාන පාරිසරික සාධක වේ.
- මෙම සාධකවලට ජානමය සාධක ද එකතු වූ විට අවදානම වැඩි වේ.
7. සංජානන සහ හැසිරීම් ස්වභාවය
- සෘණාත්මක සිතිවිලි රටා, බලාපොරොත්තු කඩ වීම, අඩු ආත්ම අභිමානය සහ විවිධ පරිසර තත්ත්වයන්ට දුර්වල ලෙස අනුගතවීම විෂාදය වැළඳී, එය පැවතීමට දායක වේ.
රෝග ලක්ෂණ
වැඩිහිටියන් තුළ බහුල ලෙස දැකිය හැකි රෝග ලක්ෂණ නම්:
- විෂාදය මිනිසුන්ට විවිධ ආකාරවලින් බලපාන අතර විවිධාකාර රෝග ලක්ෂණ ඇති කළ හැකිය.
- ඒවා නම් දීර්ඝ කාලීනව පවතින අසතුටුදායක සහ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම්වල සිට, ඔබ කලින් සතුටින් කළ දේවල් කෙරෙහි ඇති උනන්දුව නැතිවීම සහ ඉතා සොවින් සිටීම දක්වා විහිදේ. විෂාදයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට කාංසාවේ රෝග ලක්ෂණ ද ඇත.
- නිරන්තරයෙන් වෙහෙසට පත්වීම, හොඳින් නිදා නොයෑම, ආහාර රුචිය හෝ ලිංගික ආශාව නොමැතිකම සහ විවිධ වේදනාවන් වැනි ශාරීරික රෝග ලක්ෂණ ද ඇති විය හැකිය.
- විෂාදයේ රෝග ලක්ෂණ මෘදු සිට දරුණු දක්වා පරාසයක පවතී. ආරම්භක අවධියේ දී, සරලව ඔබට නිරන්තර කනස්සලු ස්වභාවයක් දැනිය හැකි අතර, දැඩි විෂාද තත්වයක් ඔබව සියදිවි නසා ගැනීමට පෙළඹවිය හැකිය. එහිදී ජීවිතය යනු අරුත්සුන් දෙයක් ලෙස ඔබට හැඟේ.
- බොහෝ දෙනෙකුට දුෂ්කර කාලවලදී ආතතිය, කාංසාව හෝ අඩු මනෝභාවයක් අත්විඳිය හැකිය. නමුත් මෙය විෂාදයේ ලකුණක් වීමට වඩා, කෙටි කලකින් පහව ගොස් නැවත යථා ස්වභාවයකට පැමිණෙයි.
දරුවන් තුළ බහුල ලෙස දැකිය හැකි රෝග ලක්ෂණ නම්:
- දුක හෝ පහව නොයන අඩු මනෝභාවය.
- සෑම විටම කෝපයට පත් වීම හෝ නොරුස්සනසුලු වීම.
- ඔවුන් පෙර ආශා කළ දේවල් කෙරෙහි තවදුරටත් උනන්දුවක් නොමැති වීම.
- බොහෝ විට වෙහෙසට පත්වීම සහ වෙහෙසකර බවක් දැනීම.
තවද ඔබේ දරුවා:
- නිදාගැනීමේ අපහසුතාවයක් හෝ වෙනදාට වඩා නිදාගැනීම.
- අවධානය යොමු කිරීමට අපහසු වීම.
- මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධය අඩු වීම.
- කරන කියන දේ පිළිබඳ අවිනිශ්චිත වීම.
- ආත්ම විශ්වාසය දුර්වල වීම.
- සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ අධික ලෙස ආහාර ගැනීම.
- බරෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති වීම.
- සැහැල්ලු නිදහස් වීමට නොහැකි වීම හෝ වෙනදාට වඩා උදාසීන බවක් පෙන්වීම.
- වරදකාරී හැඟීමක් හෝ නොවටිනා බවක් දැනීම ගැන අදහස් ප්‍රකාශ කිරීම.
- හිස් බවක් හෝ කිසිදු හැඟීමක් දැනීමක් නොමැති වීම.
- සියදිවි නසා ගැනීම හෝ ස්වයං හානිකර ගැනීම පිළිබඳ සිතුවිලි ඇති වීම.
- ස්වයං හානි සැබෑවටම සිදු කර ගැනීම. උදාහරණයක් ලෙස, තමාට තුවාල කර ගැනීම හෝ ඖෂධ අධික මාත්‍රාවක් ගැනීම.
- සමහර දරුවන්ට විෂාදයට අමතරව කාංසාව ද ඇති වේ. සමහරුන්ට හිසරදය සහ බඩේ කැක්කුම වැනි ශාරීරික රෝග ලක්ෂණ ද ඇත.
- පාසල් ගැටලු සහ ගැටලුකාරී හැසිරීම් දරුවන් සහ තරුණයින් තුළ විෂාදයේ ලකුණක් විය හැකිය.
- විෂාදයෙන් පෙළෙන වැඩිහිටි දරුවන් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි ලෙස භාවිතයට යොමු විය හැක.
රෝගය හඳුනා ගැනීම
1. සායනික තක්සේරුව:
මනෝභාවය, නින්ද, ආහාර රුචිය, ශක්ති මට්ටම් සහ අවධානය වැනි වෙනස්වීම් ඇතුළු පුද්ගලයාගේ රෝග ලක්ෂණ තේරුම් ගැනීම සඳහා මානසික වෛද්‍යවරයෙකු විසින් සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවක් පවත්වනු ඇත. වෛද්‍යවරයා පුද්ගලයාගේ වෛද්‍ය ඉතිහාසය, පවුල් ඉතිහාසය සහ සමාජ ඉතිහාසය පිළිබඳව ද විමසනු ඇත.
2. ශාරීරික පරීක්ෂාව:
විෂාදය නොවන නමුත් විෂාදයට ආසන්න රෝග ලක්ෂණ වලට හේතු විය හැකි වෙනත් සෞඛ්‍යමය තත්වයක් තිබේද යන්න අවබෝධ කරගැනීමට ශාරීරික පරීක්ෂණයක් උපකාරී වේ.
3. මානසික තත්ත්වය පරීක්ෂා කිරීම:
මෙයට පුද්ගලයාගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් රටා ඇගයීම ඇතුළත් වේ.
4. ප්‍රශ්නාවලි:
K10 හෝ EPDS වැනි සම්මත ප්‍රශ්නාවලියක් භාවිතයෙන් විෂාද රෝග ලක්ෂණ පවතී ද එසේ නම් ඒවායේ බරපතලකම තක්සේරු කිරීමට උපකාරී වේ.
5. DSM-5 නිර්ණායක:
මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොත (DSM-5) මානසික පීඩනය ආශ්‍රිත ප්‍රධාන තත්ත්ව හඳුනා ගැනීම සඳහා නිශ්චිත නිර්ණායක සපයයි. මෙම නිර්ණායක අතරට පීඩාකාරී ස්වභාවයෙන් පෙළීම, උනන්දුව හෝ සතුට නැතිවීම, ආහාර රුචිය හෝ නින්දේ වෙනස්වීම්, තෙහෙට්ටුව, තමන් වැදගම්මකට නැති හෝ වරදකාරී හැඟීම් සහ අවධානය යොමු කිරීමේ අපහසුතාව වැනි ඇතැම් රෝග ලක්ෂණ පැවතීම ඇතුළත් වේ.
6. රසායනාගාර පරීක්ෂණ:
සමහර අවස්ථාවලදී, විෂාදයට සමාන රෝග ලක්ෂණ, වෙනත් සෞඛ්‍ය තත්වයන් නිසා ඇතිවිය හැකි බැවින් ඒවා නිශ්විතව බැහැර කිරීමට රුධිර පරීක්ෂණ වැනි රසායනාගාර පරීක්ෂණ නියම කළ හැකිය.
7. අනෙකුත් හේතු බැහැර කිරීම:
ඇතැම් ඖෂධ හෝ වෙනත් සෞඛ්‍ය තත්වයන් වැනි රෝග ලක්ෂණ ඇතිවීමට හේතු විය හැකි වෙනත් හේතු බැහැර කිරීම වැදගත් වේ.
8. පවුල් ඉතිහාසය සහ අවදානම් සාධක සලකා බැලීම:
විෂාදය ඇතුළු මානසික රෝග පිළිබඳ පවුල් ඉතිහාසයක් සහ ළමා වියේ අහිතකර අත්දැකීම්, සමීපතමයන්ගේ වියෝවන්, ආතතිය හෝ අනෙකුත් රෝග වැනි වෙනත් අවදානම් සාධක ද සලකා බැලිය හැකිය.
ප්‍රතිකාර
1. ජීවන රටාවේ වෙනස්කම්
- ව්‍යායම: නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මගින් මනෝභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි අතර විෂාද රෝග ලක්ෂණ අඩු කළ හැකිය. සතියේ බොහෝ දිනවල අවම වශයෙන් විනාඩි 30 – 60 අතර කාලයක් ව්‍යායාම කිරීමට ඉලක්ක කරන්න.
- සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම: සමබර හා පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමෙන් සමස්ත යහපැවැත්මට සහාය විය හැකි අතර විෂාදය වළක්වා ගැනීමට උපකාරී විය හැකිය.
- නින්ද: විෂාදය කළමනාකරණය කිරීම සඳහා හොඳ නින්දකට (එකම වෙලාවට නිදාගැනීම සහ අවදි වීම, සුවපහසු නින්දක් සඳහා වන පරිසරය) ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් විය හැකිය.
- ආතති කළමණාකරණය: යෝගා, භාවනාව හෝ ගැඹුරු හුස්ම ගැනීම වැනි ආතතිය අඩු කිරීමේ ශිල්පීය ක්‍රම පුහුණු වීම උපකාරී විය හැකිය.
- මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සීමා කරන්න: අධික ලෙස මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය විෂාදය තවත් උග්‍ර කළ හැකි අතර ඒවා වළක්වා ගත යුතුය.
- සමාජ සම්බන්ධතා: මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධව සිටීම සහ සමාජ ක්‍රියාකාරකම් වලට සහභාගී වීම මානසික සහයෝගයක් ලබා දෙන අතර හුදකලා හැඟීම් අඩු කරයි.
- විනෝදජනක ක්‍රියාකාරකම්වල නිරත වන්න: ඔබට ප්‍රීතිය ගෙන දෙන විනෝදාංශ සහ ක්‍රියාකාරකම්වල නැවත නිරත වීම මනෝභාවය සහ උනන්දුව වැඩි කිරීමට උපකාරී වේ.
2. මනෝවිද්‍යාත්මක චිකිත්සාව
- සිතුම් පැතුම් ආකල්ප සම්බන්ධ චිකිත්සාව (සංජානන චර්යා චිකිත්සාව – CBT): විෂාදයට දායක වන සෘණාත්මක චින්තන රටා සහ හැසිරීම් හඳුනා ගෙන ඒවා වෙනස් කිරීමට උපකාරී වේ.
- අන්තර් පුද්ගල සබඳතා චිකිත්සාව (IPT): පුද්ගල සබඳතා වැඩිදියුණු කිරීම සහ විෂාදයට දායක විය හැකි අන්තර් පුද්ගල ගැටළු විසඳීම කෙරෙහි අවධානය යොමු කරයි.
- හැසිරීම් සක්‍රීය කිරීම: සතුට හෝ ජයග්‍රහණය පිළිබඳ හැඟීමක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල සහභාගීත්වය ක්‍රමයෙන් වැඩි කිරීමට කටයුතු කිරීම මෙයට ඇතුළත් වේ.
- වෙනත් ප්‍රතිකාර ක්‍රම: ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතා අනුව පවුල් චිකිත්සාව, විවාහක/ පෙම් යුවල සඳහා චිකිත්සාව සහ කණ්ඩායම් චිකිත්සාව සඳහා යොමු කිරීම.
3. ඖෂධ
- විෂාදනාශක: ඖෂධ මගින් මොළයේ ස්නායු සම්ප්‍රේෂක මට්ටම් නියාමනය කිරීමට උපකාරී වන අතර එය මනෝභාවයට සහ සමස්ත යහපැවැත්මට බලපායි.
- මනෝභාවය ස්ථායිකාරක සහ ප්‍රති-මනෝ නාශක: විශේෂයෙන් ක්ෂණිකව මනෝභාවය වෙනස් වෙන (Bipolar Disorder) හෝ වෙනත් මනෝභාවයන් ඇති පුද්ගලයින් සඳහා, මේවා විෂාදනාශක ඖෂධ සමඟ ඒකාබද්ධව නියම කළ හැකිය.
- මොළය උත්තේජනය කිරීමේ චිකිත්සාව: ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වන විෂාදයේ දරුණු අවස්ථා සඳහා, විද්‍යුත් කම්පන චිකිත්සාව (කරන්ට් ඇල්ලීම – ECT) වැනි විකල්ප සලකා බැලිය හැකිය.
4. වෙනත් ප්‍රවේශයන්
- ස්වයං උපකාර: පොත්පත්, වෙබ් අඩවි සහ සහායක කණ්ඩායම් වැනි සම්පත් මගින් තොරතුරු සහ මග පෙන්වීම ලබා ගත හැකිය.
- සමාජ සම්බන්ධතා ඇති කිරීම: මිතුරන්, පවුලේ අය හෝ සහායක කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමෙන් චිත්තවේගීය සහයෝගය (හැඟීම් පාලනය කරගැනීමට) සහ අවබෝධය ලබා ගත හැකිය.
- සතිය (මානසික ඒකාග්‍රතාව) සහ භාවනාව: සතිය සහ භාවනාව ප්‍රගුණ කිරීම අවධානය වැඩි දියුණු කිරීමට, ආතතිය අඩු කිරීමට සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට උපකාරී වේ.
විෂාදය වළක්වා ගන්නේ කෙසේද?
1. ආතතිය කළමනාකරණය කරන්න:
- ආතති කාරක හඳුනා ගන්න: ඔබට ආතතිය ඇති කරන තත්වයන්, පුද්ගලයින් හෝ සිදුවීම් හඳුනා ගන්න.
- සාර්ථකව මුහුණදීමේ යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම: ගැඹුරු හුස්ම ගැනීම ඇතුළු භාවනාව, යෝගා හෝ සොබාදහම සමඟ කාලය ගත කිරීම වැනි ආතතිය පාලනය කළ හැකි සෞඛ්‍ය සම්පන්න ක්‍රම ඉගෙන ගන්න.
- වෘත්තීය උපකාර ලබාගන්න: ආතතිය පාලනය කරගැනීමට අපහසු නම්, චිකිත්සකයෙකු (Therapist) හෝ උපදේශකයෙකුගෙන් (Counsellor) උපදෙස් ලබා ගැනීම ගැන සලකා බලන්න.
2. ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය දෙන්න:
- ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම: සෑම රාත්‍රියකම පැය 7-9 ක ගුණාත්මක නින්දක් ඉලක්ක කරගන්න.
- සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න: ප්‍රෝටීන්, පිෂ්ටය, විටමින් ඇතුළු සියලු පෝෂණ සංඝටක ඇතුළත් සම්පූර්ණ, සකස් නොකළ ආහාර කෙරෙහි අවධානය යොමු කර සැකසූ ආහාර, සීනි සහ සෞඛ්‍යයට අහිතකර මේද සීමා කරන්න.
- නිතර ව්‍යායමවල නිරත වීම: ශාරීරික ක්‍රියාකාරකම් මගින් ආතතිය සැලකිය යුතු ලෙස අඩු කර මානසික මට්ටම වැඩි දියුණු කළ හැකිය.
- සතිය පුරුදු කරන්න: භාවනාව, යෝගා හෝ සොබාදහමේ කාලය ගත කිරීම වැනි වර්තමාන මොහොත සමඟ සම්බන්ධ වීමට උපකාරී වන ක්‍රියාකාරකම්වල නිරත වන්න.
3. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න:
- මත්පැන් සහ මත්ද්‍රව්‍ය සීමා කරන්න හෝ වළක්වා ගන්න: මෙම ද්‍රව්‍ය විෂාද රෝග ලක්ෂණ තවත් උග්‍ර කළ හැකි අතරම ප්‍රතිකාරවලට ද බාධා කරයි.
- මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධව සිටින්න: දුෂ්කර අවස්ථාවල දී සමාජ සහයෝගය ඉතා වැදගත් විය හැකිය.
- විනෝදජනක ක්‍රියාකාරකම්වල නිරත වන්න: ඔබට ප්‍රීතිය සහ යම් අරමුණක් පිළිබඳ හැඟීමක් ගෙන දෙන විනෝදාංශ සහ කැමති දේවල්වලට යොමුවන්න.
4. සහාය සහ ප්‍රතිකාර ලබාගන්න:
- ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කරන්න: ඔබේ හැඟීම් මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ චිකිත්සකයෙකු සමඟ කතා කරන්න.
- වෘත්තීය සහාය ලබා ගන්න: ඔබ විෂාද රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, වෛද්‍යවරයෙකු හෝ චිකිත්සකයෙකු හමුවීමට පසුබට නොවන්න.
- දිගුකාලීන පාලනය කිරීමේ ප්‍රතිකාර ලබා ගන්න: ඔබට විෂාදය තිබේ නම්, අඛණ්ඩ ප්‍රතිකාර සහ/හෝ ඖෂධ එය නරක අතට හැරීම වළක්වා ගැනීමට උපකාරී වේ.
5. කලින් හඳුනා ගැනීම සහ පිළියම් යෙදීම:
- විෂාදයේ මුල් අවධියේ සළකුණු පිළිබඳ අවබෝධයෙන් සිටීම: ඔබේ මානසික මට්ටමේ, හැසිරීමේ හෝ ශක්ති මට්ටම්වල වෙනස්කම් ඔබ දුටුවහොත්, වහාම වෘත්තීය සහාය ලබා ගැනීම වැදගත් වේ.
- වළක්වා ගැනීමේ පියවර අනුගමනය කිරීම: විෂාද තත්වයක් දක්වා වර්ධනය වී නොමැති පුද්ගලයින් තුළ විෂාදය ඇතිවීම වැළැක්වීමට මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් උපකාරී වේ.
- මුල් අවධියේදී ම සිදු කරන මැදිහත්වීම් ප්‍රයෝජනවත් විය හැකිය: විෂාදය කලින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ අඩු කර නැවත ඇතිවීම වළක්වා ගත හැකිය.
විෂාදය නිසා ඇති විය හැකි විවිධ සංකූලතා පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.
- මානසික සෞඛ්‍ය සංකූලතා:
- කාංසාව තත්ත්වය: විෂාදයෙන් පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍යකරණය වූ කාංසාව (GAD), ක්ෂණික බිය/ කලබල වීම සහ සමාජ භීතිකාව වැනි කාංසා ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
- මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම: විෂාදයට මුහුණ දීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය අනිසි භාවිත කිරීමේ අවස්ථාව වැඩි කරයි.
- සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ හැසිරීම: සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ උත්සාහයන් සඳහා විෂාදය ප්‍රධාන අවදානම් සාධකයක් වන අතර එය බරපතල ප්‍රතිවිපාක ඇති කරයි.
- ස්වයං හානි කරගැනීම: විෂාදයෙන් පෙළෙන සමහර පුද්ගලයින් තම හැඟීම් සමඟ කටයුතු කිරීමේ මාර්ගයක් ලෙස තමාටම හානිකර ගැනීමේ නිරත විය හැකිය.
- කායික සෞඛ්‍ය සංකූලතා:
- හෘදය ආශ්‍රිත ගැටළු: විෂාදය හෘද රෝග සහ අනෙකුත් හෘද වාහිනී ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කිරීමට සම්බන්ධ වේ.
- දියවැඩියාව: විෂාදයෙන් පෙළෙන පුද්ගලයින් තුළ දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.
- නිදන්ගත වේදනාව: විෂාදය පවතින වේදනා තත්වයන් උග්‍ර කිරීමට හෝ නව වේදනා තත්වයන්ට තුඩු දිය හැකිය.
- වෙනත් සෞඛ්‍යමය රෝග: විෂාදය අධි රුධිර පීඩනය සහ නිදන්ගත පෙනහළු ආසාදන රෝග (COPD) වැනි අනෙකුත් වෛද්‍ය තත්වයන් උග්‍රවීමට හෝ වැඩි කිරීමට හේතු විය හැක.
- තරබාරුකම: විෂාදය බර වැඩිවීමට සහ තරබාරුකමට දායක විය හැකි අතර, එය අනෙකුත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම තවදුරටත් වැඩි කළ හැකිය.
- අකල් මරණය: විෂාදය දීර්ඝකාලීනව පැවතීම මත හටගන්නා වෙනත් සෞඛ්‍ය තත්වයන් නිසා අකල් මරණයට හේතු විය හැක.
- සමාජ හා ක්‍රියාකාරී සංකූලතා:
- සම්බන්ධතාවල ගැටලු: විෂාදය පවුලේ අය, මිතුරන් සහ සහකරුවන් සමඟ සබඳතා පළුදු කළ හැකි අතර, එය හුදකලාව හා ගැටුම් වලට තුඩු දෙයි.
- රැකියා හෝ පාසල් ගැටළු: විෂාදය නිසා අවධානය යොමු කිරීම, කාර්යයන් ඉටු කිරීම සහ රැකියාව හෝ අධ්‍යයන කාර්ය සාධනය පවත්වා ගැනීම දුෂ්කර විය හැකිය.
- සමාජයෙන් දුරස් වීම: විෂාදයෙන් පෙළෙන පුද්ගලයින් සමාජ ක්‍රියාකාරකම්වලින් ඉවත් වී හුදකලා විය හැකි අතර, එමඟින් පාලු සහගත හැඟීම් සහ තවදුරටත් විෂාදය තීව්‍ර වේ.
- ජීවන තත්ත්වය පහළ යාම: විෂාදයේ රෝග ලක්ෂණ සහ සංකූලතා පුද්ගලයෙකුගේ සමස්ත ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස පහත හෙළිය හැකිය.
එමනිසා පහත කරුණු මතක තබා ගැනීම වැදගත් වේ:
- මෙම සංකූලතා බොහොමයක් විෂාදය සමඟ බද්ධ වී පවතින ආතතිය, උනන්දුව නොමැතිකම සහ දෛනික ජීවිතය කළමනාකරණය කිරීමේ අපහසුතාවයට සම්බන්ධ වේ.
- විෂාදය කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් මෙම සංකූලතා වළක්වා ගැනීමට හෝ අවම කිරීමට උපකාරී වේ.
- විෂාදය කළමනාකරණය කිරීම සහ ඉන් ඇතිවිය හැකි සංකූලතා මගහැර ගැනීම සඳහා වෘත්තීය සහාය පැතීම ඉතා වැදගත් වේ.
සාරාංශය
විෂාදය ඇති වන්නේ පහත සාධකවල අන්තර් ක්‍රියාකාරිත්වයක් නිසාය.
- ස්නායු රසායනික ද්‍රව්‍යවල අක්‍රමිකතාව.
- HPA අක්ෂය අධික ලෙස සක්‍රිය වීම.
- ස්නායු ප්‍රදාහ තත්ව.
- මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම්.
- ජානමය / අපිප්‍රවේණික සාධක
- මානසික සහ සමාජීය ආතතික තත්වයන්
මේ සියල්ල එක්ව, විෂාදයේ ලක්ෂණයක් වන චිත්තවේගීය, සංජානන සහ ශාරීරික රෝග ලක්ෂණ වලට මග පාදයි. රෝග විනිශ්චය සඳහා සාමාන්‍යයෙන් කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නොවේ. විෂාදයට ප්‍රතිකාර කිරීමට ආරක්ෂිත සහ ඵලදායී නවීන ඖෂධ ඇත.
කළ යුතු දේ
- ඔබට විෂාදය ඇති බව ඔබ සිතන්නේ නම් සහාය සහ ප්‍රතිකාර ලබා ගන්න.
- බොහෝ සියදිවි නසාගැනීම් සිදුවන්නේ දැඩි විෂාදය නිසා බව මතක තබා ගන්න.
- සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න.
- ආතතිය කළමනාකරණය කරන්න.
නොකළ යුතු දේ
- විෂාදයට ලබා ගන්නා ඖෂධ හදිසියේ නතර කිරීම.
- ඔබේ මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු විෂාදයෙන් පෙළෙයි නම් එය නොසලකා හැරීම.

